Saturday, April 27, 2024
Home » රටේ ආර්ථිකය ගොඩනැඟීමට පුරාවිද්‍යාව පාදක කරගන්න පුළුවන්

රටේ ආර්ථිකය ගොඩනැඟීමට පුරාවිද්‍යාව පාදක කරගන්න පුළුවන්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ලෝකයේ බොහෝ රටවල් සිය අතීත ශිෂ්ටාචාරය ඉස්මතු කරමින් සිටියි. එවැනි අභිමානවත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයා ස්ථාන කිහිපයකම මහාවිහාර කැණීම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කර තිබේ. මහාවිහාර කැණීම් කටයුතු ආරම්භ කිරීම සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

– ථේරවාදි බුදුදහම කේන්ද්‍රගතව තිබුණේ මහාවිහාර සම්ප්‍රදාය මතයි
– මහාවිහාරය අපේ මෙරට වැසියන්ගේ උරුමයක්
– මහාවිහාරය දියුණු කළොත් අවට ප්‍රජාවට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්
– මහාවිහාර කැණීම් කටයුතු නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව කෙබඳුද?

මහාවිහාරය මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර කටයුතු කරගෙන ගියත් මූල්‍යමය දුෂ්කරතා නිසා මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. විශේෂයෙන්ම මහාවිහාරයේ තිබෙන ථේරවාදි සම්ප්‍රදායත්, ඒ උරුම ස්ථාන නැවත මහජනයාට දැක බලා ගැනීමට සහ එහි සංවර්ධන වැඩකටයුතු පිළිබඳවත් අවධානය යොමු වුණේ 2015දී. එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම මහාවිහාර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට නායකත්වය ගනු ලැබුවා. දැනට සොයාගෙන තිබෙන සහ අනුමාන වශයෙන් සිතන අපේ උරුමය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී බෞද්ධ ගොඩනැඟිලි සහ කලා කෘති විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ අතරින් බොහෝ ස්ථාන පිළිබඳ අපි දන්න ප්‍රමාණයට වඩා නොදන්න ප්‍රමාණය වැඩියි. අපේ සංස්කෘතිය, සමාජය පෝෂණය වීම පටන් ගත්තේ බුදුදහම ලැබීම හා සිදු වූ සමාජ ආකෘතිය තුළයි. ථේරවාදි බුදුදහම විශාල වශයෙන්ම කේන්ද්‍රගතව තිබුණේ මහාවිහාර සම්ප්‍රදාය මතයි. මහාවිහාරයට අයත් බෞද්ධ උරුම ගොඩනැඟිලි ආශ්‍රිත පද්ධතිය තුළින් අපේ රටේ සමස්ත සමාජය පෝෂණය වුණා. මහාවිහාර සංකීර්ණය විශාල ගොඩනැඟිලි රාශියකින් සමන්විතයි. එහිදී ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, ථූපාරාමය හා ඊට අයත් ආවාස ගොඩනැගිලි ඉදිකිරීම් කිහිපයක් පිළිබඳව අදහස් අපට තිබුණත් අනුරාධපුරයේ බොහෝ ඉදිකිරීම් පිළිබඳ අප දැනුවත් නැහැ. විශේෂයෙන්ම අපේ රටේ බෞද්ධ උරුමය නඟාසිටුවීම ඒ හා සම්බන්ධ අපේ සංස්කෘතිය, කලාව ඇතුළු අනෙකුත් සියලු‍ අංග පිළිබඳව වැදගත්කමක් අද අපට තිබෙනවා. නේපාලය, ඉන්දියාව වගේ රටවල්වල බෞද්ධ උරුමය පිළිබඳව විශාල වැඩ කොටසක් පුරාවිද්‍යාව පැත්තෙන් කරගෙන යනවා. පුරාතනය පිළිබඳ දැනුම, තොරතුරු ලබා ගැනීමට පමණක් නොවෙයි අපේ රටේ සැදැහැවතුන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ගේ පූජනීය අවශ්‍යතාවන් වෙනුවෙන් මහා විහාරයේ පර්යේෂණ කටයුතු සංවිධානය කිරීම වැදගත්. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ද පාදක කර ගැනීමට හැකියාව ඇත. මේ නිසා අපි නව මානයකින් යුතුව මහාවිහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම සොයා බැලිය යුතුයි.

මහා විහාරය ඓතිහාසිකව අපේ සංස්කෘතියට වැදගත් වෙන්නේ කොහොම ද?

ථේරවාදි බුදුදහම නම්වූ ප්‍රධාන ධාරාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟයි. ඒ තුළ අපේ රටේ විවිධ ආගමික ධාරාවන් ගැබ්වෙලා තිබුණා. ථේරවාදි බුදුදහමත් සමඟ ගොඩනැඟු‍ණු වෙහෙර විහාර සංකල්පය මඟින් අපේ සම්ප්‍රදාය සඳහා විශාල බලපෑමක් ඇති කෙරුණා. අපේ සංස්කෘතිය, සමාජය ඉදිරියට ගියේ ඒ තුළින්. වර්තමානයේ අපි රුවන්වැලිසෑය, ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරනු ලබනවා. අපි තේරුම්ගත යුතු කාරණාවක් තමයි බුදුදහම පෙරදැරි කරගත් පැරණි ශාස්තෘවරයන් වහන්සේලා විසින් ජනිත කළ ඒ ධර්මය රට තුළ ස්ථාපිත වීමෙන් අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ ඉදිරි ගමන සඳහා විශාල බලපෑමක් ඇති කරනු ලැබූ බව. ලෝකයේ දියුණුම තාක්ෂණය භාවිත කරමින් මහාවිහාරය නම් වූ සංකීර්ණය අධ්‍යයනය කරමින් මේ කාරණය පිළිබඳ විමර්ශනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී තිබෙනවා.

මහා විහාර සංකීර්ණයේ මේ වන විට කර ඇති කැණීම් කටයුතු මොනවාද?

දැනට මහාවිහාරයේ සීමාව, මහාවිහාර සංකීර්ණයේ එදා සිටි භික්ෂූන් වහන්සේලා විසින් වැඩ වාසය කළ යම් ප්‍රමාණයක ආරාම, නේවාසික කුටි, මහාවිහාර සංකීර්ණය තුළ ගරුතර මහා සංඝරත්නය වැඩවාසය කළ බුදුදහම ජනතාවට ප්‍රචාරය කිරීම සඳහා ජනතාව වන්දනාමාන කිරීමට පාදක වුණු රුවන්වැලිසෑය වගේම අපේ ශාසනයට විශාල වටිනාකමක් තිබෙන ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත ගොඩනැඟිලි පිළිබඳ කැණීම් කටයුතු සිදු කර තිබෙනවා. අපේ රටේ ථූප වන්දනව වගේම බෝධි වන්දනාවත් ප්‍රචලිතව තිබුණා. මේ වන විට සංරක්ෂණය කටයුතු රාශියක් සිදු කර තිබෙනවා. ඒ අතර රුවන්වැලිසෑයේ මළුව ප්‍රතිසංස්කරණය කිරීම, වැලි මළුව ප්‍රතිසංස්කරණය කිරීම වගේම රුවන්වැලිසෑයේ ස්ථූපයට බාහිර කොටස කැණීම් කටයුතු කිරීමෙන් එහි තිබුණු නේවාසික ගොඩනැඟිලි ගණනාවක් මතු කරගෙන දැකබලා ගන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මෙතැනින් එහාට මහාවිහාරයේ චිත්‍රය කුමක්ද කියන කාරණයයි විමසා බැලිය යුත්තේ.

 වර්තමානයේ මහාවිහාර කැණීම් කටයුතු ආරම්භ කිරීමේ අරමුණු මොනවා ද?

වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමක් දකින්න පුළුවන්. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්යවරු සම්බන්ධ වෙලා ඉන්නවා. නේපාලයේ ලු‍ම්බිණිය, කපිලවස්තුපුර වගේ බෞද්ධ ස්ථානවල කැණීම් කරලා ඒ කැණීම් කටයුතු පිළිබඳව අන්තර්ජාතික වශයෙන් කීර්තියක් දිනාගත් බොහෝ විද්වතුන් මෙයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වනවිට නේපාලය, ඉන්දියාව වගේ රටවල කැණීම් ආශ්‍රිතව සොයාගත් නටබුන් පිළිබඳව යුරෝපය ඇමරිකාව වගේ කලාපවල ඉතා ප්‍රචලිතව පවතිනවා. මේ මහාවිහාර කැණීම ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපෘතියක් විදිහට රැගෙන යාමේ වැදගත්කමක් තිබෙනවා. අපේ පුරාවිද්‍යාව හුදෙකලා කිරීමෙන් තොරව පුළුල් වශයෙන් සහයෝගිතාව දක්වන පිරිස් සමඟ එකතු වෙලා කටයුතු කිරීම වැදගත් කාරණයක්. පුරාවිද්‍යා කැණීම්වලින් පහදා ගන්නා දේවල්වලින් අපේ ප්‍රෞඪත්වය මෙන්ම මහාවිහාර බෞද්ධ වාස්තු විද්‍යාව හා කලාව පිළිබඳව ලෝකයට කියන්න ලැබෙනවා. විශේෂයෙන්ම ඒ වකවානුවේ පැවති තාක්ෂණය, ජල උරුමය, වාරි තාක්ෂණය තිබුණේ මොනවගේ තැනකද කියන කාරණය, භාෂාව පිළිබඳව, අපේ දැනුම් තත්ත්වය වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ වැදගත්කමක් තිබෙනවා. නව පුරාවිද්‍යාව තුළ පොළොව අභ්‍යන්තරයේ තිබෙන දේවල් කැණීම් කිරීමට පෙර භූ ගර්භ විද්‍යාව අනුව පොළොව පරීක්ෂා කිරීමේ තාක්ෂණික ක්‍රම භාවිත කිරීම ඉතා වැදගත්. මේ කැණීම හරහා එම තාක්ෂණය හුවමාරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මහාවිහාර කැණීම් නැවත ආරම්භ කිරීම සංචාරක කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලෝක උරුම ලෙස අනුරාධපුරයේ පවතින අභයගිරිය හා ජේතවන චෛත්‍ය දෙකත්, පොළොන්නරුව, සීගිරිය වගේම යටත් විජිත සමයේ ගොඩනැඟුණු ගාල්ල බළකොටුව, දඹුල්ල, මහනුවර වැනි ස්ථානවලින් සංචාරක කර්මාන්තය හරහා රටට විශාල ආදායමක් ලැබෙනවා. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රධාන වශයෙන් දායක වෙනවා. විශේෂයෙන්ම 2018 වසර වනතුරු විදේශ සංචාරකයන් ලක්ෂ 20-25 අතර ප්‍රමාණයක් වසරකට පැමිණියා. නමුත් කනගාටුවට කරුණ නම් පාස්කු ප්‍රහාරය සහ අපේ රටේ ආර්ථිකය කඩා වැටීම නිසා සංචාරක කර්මාන්තය පහළටම ඇදවැටුණා. වර්තමානයේ යම් සතුටුදායක තත්ත්වයක් තිබෙනවා.

පසුගිය වර්ෂයේ ලක්ෂ 15ක් පමණ සංචාරකයින් පැමිණ තිබෙනවා. මේ වසරේ මිලියන 3ක් පමණ සංචාරකයින් පැමිණෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා. එය ඇත්තටම සුබවාදී කාරණයක්.

ලංකාවේ බෞද්ධ උරුමය සහිත බෞද්ධ සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙවැනි වැඩසටහන් විශේෂ වැඩසටහන් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම තුළින් අපේ රට පිළිබඳව ලෝකයේ ස්ථානගත කිරීමට හැකිවෙනවා. පැරණි රජවරු බුද්ධ ශාසනයට සිදු කර තිබෙන මෙහෙය, ශ්‍රී විභූතිය අද අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න විශාල පදනමක් සකස් කර තිබෙනවා.

අනුරාධපුර නගරයේ ඓතිහාසික උරුමය සුරැකෙන ආකාරයට මහාවිහාර සංවර්ධන කටයුතු සිදු කළ යුත්තේ කෙසේද?

බොහොමයක් අපේ රටේ උරුම ස්ථානවල තිබෙන ආර්ථික පැත්ත බැලු‍වාම අපේ ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් තිබෙන්නේ. මෙය ඇත්ත වශයෙන් ගුණාත්මක සහ ධනාත්මක කාරණා ලෙස දැකිය යුතුයි. ඒ වගේම විශාල ජනකායක් මේ ස්ථානවලට පැමිණීම, රථවාහන භාවිතාව වැනි කරුණු සම්බන්ධයෙන් විශාල ගැටලු‍ ඇති කරන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. මේ ගැටලු‍ විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ උරුමට පිළිබඳව අපේ රටේ ජනතාවට තිබෙන අවබෝධය ඉතා අඩුයි. මහජනතාව පොසොන් පොහොය වැනි දිනවල අනුරාධපුරයට පැමිණ ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේදි උරුමය ආරක්ෂා කරගැනීමේ අවබෝධය නැතිව කටයුතු කරනවා. අනුරාධපුරයේ සංචාරයට පැමිණෙන බැතිමතුන් ආහාර පිසිමේදි තාවකාලික ලිප් ඉදිකිරීම සඳහා අපේ පැරණි ගල්කණු, ගඩොල් වගේ දේවල් යොදා ගන්නවා. මෙලෙස ලිප් මෙලවීම කිසියම් ආකාරයකට පුරාවිද්‍යාත්මක සංස්කෘතික තත්ත්වයන්ට විශාල බලපෑමක් සිදු කරනවා. ඒවා නතර කළ යුතුයි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ සංචාරයට අවකාශ සැලසීම, උරුමයට බාධා නොවන ආකාරයට වෙනත් ස්ථානවල සංචාරකයින්ට විනෝද වීමට අවස්ථාව ලබාදීම මඟින් සංචාරකයින්ගේ පැමිණීමේ වාසි සහගත තත්ත්වය ප්‍රජාවට ලබාදිය හැකියි. සංචාරකයෙක් දවසක් මේ ප්‍රදේශයේ ගත කරනවා කියන්නේ ඒ සමස්ත ආදායම ප්‍රජාවට ලැබෙන්නේ නැහැ. මහාවිහාරය දියුණු කරනවා කියන්නේ ඒ ප්‍රජාවට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ හරහා නිර්මාණය වෙනවා.

අනුරාධපුරය වැනි ඓතිහාසික නගරවල උරුමය සුරැකීමට ඊට ආවේණික නීති පද්ධතියක අවශ්‍යතාව කෙබඳුද?

ඇත්තටම පුරාවිද්‍යා ආඥාපනත මඟින් නීතිය ක්‍රියාත්මක කරනවා. අපි සෑම අවස්ථාවකම දැනුම සහ අවබෝධය ඇතිව කටයුතු කළ යුතුයි. නීතිය කියන කාරණාවට වඩා සමස්ත භූමිය ආරක්ෂා කර ගැනීමට පුළුවන් ආකාරයේ අදහසකින් කටයුතු කරන්න ඕනේ. අනුරාධපුරයේ බොහෝ ජනතාවක් ජීවත්ව සිටින්නේ මහාවිහාරයට අයත් භූමිවල. කෙසේ වෙතත් මේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අපේ උරුමයන්ට හානි නොවන අයුරින් සිදු කළ යුතුයි. නමුත් එක් පැත්තකින් නව නීති රීති ආදේශ කිරීමේ අවශ්‍යතාවක් ද තිබෙනවා. මහජන අවබෝධය ඕනෑවටත් වඩා ලබා දී තිබෙන නිසා උරුමයන් ආරක්ෂා කර ගැනීම වගකීමක් ලෙස සිතා අප සියලු‍ දෙනාම කටයුතු කරන්න ඕනේ. රටේ සිවිල් සංවිධානය දේශපාලන සහ මානව අයිතීන් වෙනුවෙන් පමණක් ගැන කතා නොකර අපේ රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ද කතා කිරීම වැදගත්.

රුවන් පුෂ්ප කුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT