Saturday, April 27, 2024
Home » හෝමාගම ප්ලාස්ටික් මුදලාලිගේ ගෙට පැන්න හොරු අම්මාට පිහි පහර එල්ල කරලා

හෝමාගම ප්ලාස්ටික් මුදලාලිගේ ගෙට පැන්න හොරු අම්මාට පිහි පහර එල්ල කරලා

by mahesh
March 29, 2024 1:00 am 0 comment

– මාල වළලු හා ඔප්පුවකුත් කොල්ලකාලා
– ප්‍රහාරයෙන් බෙල්ල, අත් හා කටේ කැපුම් තුවාල

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසලක හිමිකරුවකුගේ නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පැවසීය.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් මුඛයට, ගෙලට හා අතකට කැපුම් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ප්ලාස්ටික් භාණඩ අළෙවිසලක් විවෘත කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ සිට තවත් කාන්තාවක් සමඟ තුවාල ලද කාන්තාව ඊයේ (28) දා උදෑසන පැමිණ ඇති අතර, ඊට පෙර සුපුරුදු පරිදි යාබදව පිහිටි සිය පුතාගේ දෙමහල් නිවෙසට ගොස් තිබේ. එසේ යන අවස්ථාවේදී එහි නාඳුනන පුද්ගලයකු රැඳී සිටින අයුරු සහායක කාන්තාව දැක ඇති අතර, එහිදී ඇයගේ කෑ ගැසීමත් සමඟ නාඳුනන පුද්ගලයා අත තිබූ තියුණු ආයුධයක් වෙළෙඳසල හිමි කාන්තාවගේ ගෙලට තබා බියගන්වා, පහර දී, මරණීය තර්ජනය කොට, ගෙල බැඳි රන්මාලය, රන් වළලු දෙකක් හා අත් බෑගයේ තිබූ හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් තිබේ. කොල්ලකෑම සිදු වන අවස්ථාවේදී කොල්ලකරු සමඟ පොරබැදීමෙන් කොල්ලකරු අත තිබූ තියුණු ආයුධයෙන් කාන්තාවගේ මුඛයට, අතකට හා ගෙල පෙදෙසක කැපුම් තුවාල සිදුව තිබූ අතර, සැකකරුගේ පහරදීමෙන් ඇයගේ සිරුරේ ස්ථාන කිහිපයක තැලීම් සලකුණු සිදුව තිබූ බව ද පොලිසිය කීය.

සිද්ධියත් සමඟ අනෙක් කාන්තාවගේ කෑ ගැසීම ඇසී එම ස්ථානයට පැමිණි පිරිස තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වන විට එහි හදිසි ප්‍රතිකාර ඒකකගේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට පෙර සැකකරු නිවෙසට ඇතුළු වී එහි සැඟව සිටින්නට ඇති බවට පොලිසිය සැක කරන අතර, ඒ අතරතුරදී නිවෙසේ ආරක්ෂිත කැමරා පද‍්ධතිය අක්‍රිය කර ඇති බව පොලිසිය පැවසීය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කොට සැකකරු අත්අඩංගුවට ගැනීමට අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි.

කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT