Saturday, April 27, 2024
Home » රතු සහල් අතිරේක ආහාර වර්ග 3ක් ජපාන වෙළෙඳපොළෙන් ඉවත් කරයි
පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන්

රතු සහල් අතිරේක ආහාර වර්ග 3ක් ජපාන වෙළෙඳපොළෙන් ඉවත් කරයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ජපානයේ රතු සහලින් නිෂ්පාදනය කරන ශක්තිජනක ආහාර අතිරේක වර්ග තුනක් වහාම රට පුරා පිහිටි ගබඩාවලින් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවලින් ඉවත් කරන ලෙස එරට රජය විසින් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපාන රජය මේ නියෝගය සිදු කර ඇත්තේ පසුගියදා එම ශක්තිජනක ආහාර අතිරේක ලබාගත් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වීමත්, තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට සිදුවීමත් හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජපාන සෞඛ්‍ය ආමාත්‍යාංශය පසුගියදා එම ආහාර අතිරේක ත්‍රිත්වය නිෂ්පාදනය කරන ඔසාකා නුවර කේන්ද්‍ර කරගත් ඖෂධ සමාගමක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. එම ශක්තිජනක ආහාර අතිරේක වර්ගවල ඊස්ට් සහ රතු සහල් යොදා තනනු ලබන බෙනි කොජි‘ නමැති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය අඩංගු වන අතර, අනාරක්ෂිත අයුරින් එය පැසවීමේ ක්‍රියාවලියේදී වකුගඩු අක්‍රිය වීමට හේතුවන සිට්‍රිනින් විෂ ද්‍රව්‍ය නිපදවීමේ අවදානමක් ඇති බව එරට විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

පසුගියදා ජීවිතක්ෂයට පත්වූ සිව්දෙනා එම ශක්තිජනක ආහාර අතිරේක ලබා ගැනීමෙන් පසු වකුගඩු ආබාධවලින් පීඩා විඳි අය බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් දෙදෙනකු 2021 වසරේ සිට එම ආහාර අතිරේක පෙති වශයෙන් භාවිත කර ඇති අතර, තවත් පුද්ගලයකු 2022 වසරේ සිට එම ආහාර අතිරේකයට හුරු වී සිටි බව ද හෙළි වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT