Saturday, April 27, 2024
Home » මෛත්‍රීට අප්‍රේල් 4 දා උසාවියේ ප්‍රකාශයක් දෙන්නැයි නියෝග
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රකාශය

මෛත්‍රීට අප්‍රේල් 4 දා උසාවියේ ප්‍රකාශයක් දෙන්නැයි නියෝග

by mahesh
March 29, 2024 1:00 am 0 comment

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ අප්‍රේල් මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (28) නියෝග කළේය.

අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා තම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත දැනුම් දුන් අතර නීතිපති උපදෙස් මත අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 22 වැනිදා මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට ප්‍රකාශයක් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට පොලිසියෙන් දැනුම් දීමක් කර ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබුණේ ඉකුත් 25 වැනිදාය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT