Thursday, May 9, 2024
Home » මිලියන 983.7ක අපනයන ආදායමක් පසුගිය මාස දෙක තුළ උපයා තිබෙනවා

මිලියන 983.7ක අපනයන ආදායමක් පසුගිය මාස දෙක තුළ උපයා තිබෙනවා

නිවැරදි ආර්ථික ගමන් මඟ ඊට හේතු වූ බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර කියයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාව පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් රට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයනවා.

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රටක් විදිහට ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා. ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ වගේම අප රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු වී තිබෙනවා.

ඒ වගේම ඇඟලුම් හා පේෂකර්මාන්ත ආයතනය ළමුන් 500කට ආසන්න ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර ලබා දී තිබෙනවා. IDB ආයතනය සමඟ ඒකාබද්ධව පාසල් ව්‍යවසායක කව නිර්මාණය කර දරුවන් ඇගයීමට ලක් කිරීමට ද අපට හැකියාව ලැබුණා. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව කිව යුතුයි. එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය හැකියි.

දිළිඳු පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරමින් සිටිනවා. පළමු වැනි වසරේ සිට පහ වසර දක්වා පාසල් ළමුන් ලක්ෂ 17කගේ පෝෂණ අවශ්‍යතාව සැපයීමේ අරමුණින් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලිය, කැනඩාව මෙන්ම ජර්මනිය ඇතුළු රටවල් වෙත මෙරට නිෂ්පාදන අපනයනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන අරමුදල සමඟ එක්ව සහනදායී පොලී අනුපාතයකට ණය ලබා දීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම වේවැල් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබුණා. අප ඒ සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර වේවැල් 500ක් දක්වා ප්‍රවාහනය කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. තවද මැටි ප්‍රවාහනය කිරීමේ දී කියුබ් 05ක උපරිමයක් සඳහා අවසර ලබාදීමට ජාතික ශිල්ප සභාව සමඟ සාකච්ඡා කර අවස්ථාව සලසා දී තිබෙනවා.

තක්ෂිලා උදයංගනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT