Saturday, April 27, 2024
Home » කළුතර පාසලක එන්නතක් විස වී සිසුහු 10ක් රෝහලේ

කළුතර පාසලක එන්නතක් විස වී සිසුහු 10ක් රෝහලේ

by mahesh
March 29, 2024 1:00 am 0 comment

කළුතර ප්‍රසිද්ධ පාසලක 7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ට ලබාදුන් එන්නතක් විස වීම හේතුවෙන් ළමයින් දස දෙනකු ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඊයේ (28) දහවල් ඇතුළත් කර තිබේ.

අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන මෙම දරුවන් එන්නත් කිරීමෙන් පසු විවිධ රෝග ලක්ෂණ මතුව තිබේ.

එම වයස් කාණ්ඩවල සිසුන්ට ලබාදෙන වැඩිහිටි ගලපටල පිටගැස්ම (aTd) එන්නත පාසලේදී ලබාදී ඇති බවට වාර්තා වන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊයේ එම විද්‍යාලයේදී එන්නත ලබාදී තිබේ. එන්නත ලබාදීමෙන් පසු ළමයින් අසනීපව ඇති බවත් හුස්ම ගැනීමේ අපහසුතා, ක්ලාන්තය සහ බියට පත්වීම ඇතුළු විවිධ රෝග තත්ත්වයන් පෙන්නුම් කර ඇති බවත් සඳහන් වේ.

අසනීප තත්ත්වයන් පෙන්නුම් කළ සිසුන් ගිලන් රථ ගෙන්වා කඩිනමින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව කළුතර අධ්‍යාපන කලාපයේ උසස් බලධාරියෙක් පැවසීය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ සිසුන් ප්‍රතිකාර සඳහා කළුතර ගල්ලස්සේන ළමා හා කාන්තා රෝහලට යොමු කර ඇති බව නාගොඩ ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

රෝහල්ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් උසස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT