Home » සියවරක් ලිවිය හැකි තෙවරප්පෙරුම

සියවරක් ලිවිය හැකි තෙවරප්පෙරුම

by sachintha
April 19, 2024 1:21 am 0 comment

ඔහුගේ එකම විනෝදාංශය වූයේ ජනතාව වෙත තම ශක්ති ප්‍රමාණයෙන් වැඩ කිරීමය. ඔහුට තිබූ එකම ශක්තිය වූයේ ධනය බලය නොවේ තමන් වටා සිටින මිනිසුන්ගේ ආදරය සහ සහයෝගය පමණි.

දෙසිය විසිපහම එපා යැයි කියන සමාජයක දෙසිය විසිපහේ අවුරුදු දහයක් සිටි මිනිසකු පිළිබඳව නැඟෙමින් තිබෙන්නේ කම්පන රැල්ලකි. ගමේ අයට චණ්ඩි මල්ලී වූ කළුතර දිස්ත්‍රික්කයට පාලිත අයියා වූ රටම දන්නා පාලිත තෙවරප්පෙරුම වෙනුවෙන් දුක් වන්නේ මතුගම මිනිසුන් පමණක් නොව මුළු රටේම මිනිසුන්ය. පාලිත මියගිය ආරංචිය පැතිර ගිය අඟහරුවාදා සවස හයහමාර පසුවන විට මට මුහුණු පොතේ මිතුරියකගෙන් පණිවුඩයක් ලැබිණ. පාලිත තෙවරප්පෙරුම අපරාදේ නේද, ඒ පණිවුඩයේ සඳහන් වූයේ පාලිතගේ සමුගැනීම පිළිබඳ දුකයි. එහෙත් ඇය දේශපාලනයට සංවේදී නොවූ දේශපාලනඥයන් එපා යැයි කියන මතයේ සිටි තැනැත්තියකි. එහෙත් දේශපාලනයට අසංවේදී ඇයගේ හිත පවා පාලිත නිසා සලිත වී තිබුණි. පාලිතට තිබෙන ජනතා කැමැත්ත කෙතරම්ද යන්න එයින් වුවද පැහැදිලි කර ගත හැකිය. දේශපාලනඥයකුගේ මරණයකදී එදා මිනිසුන් බොහෝ සෙයින් කම්පනයට පත්විය. කාලයක් පොදුජනතාව සමඟ සිටි දේශපාලනඥයකු බවට පත්ව සිටියේ කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරිය. චන්ද්‍රසිරිලා සිටියේ දේශපාලනයේ එක්තරා ස්වර්ණමය කාලයකදීය. සෝමවීර චන්ද්‍රසිරි ගමේ වෙලේ වැඩවලට එකතු විය. නිවෙස්වල පොල් අතු සෙවිලි කරන තැන මුල් තැන ගත්තේ චන්ද්‍රසිරිය. සෝමවීර යුගයෙන් පසු නැවතත් ඒ පන්නයේ ඔහුටත් එහා ගිය පොදුජන හිතවතකු ලෙස නම් ගත්තේ පාලිත තෙවරප්පෙරුමය. සමහරු කියන ආකාරයට පාලිත තෙවරප්පෙරුම යනු තෙවරක් පෙරූ තරම් වටිනා මිනිසෙකි. මතුගම වැනි වමේ බළකොටුවක එක්සත් ජාතික පක්ෂ දේශපාලනය කළ පාලිත 2002 පළාත් පාලන මැතිවරණයේදී මතුගම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය වෙත ලබා ගන්නේ එවක තිබූ පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට වඩා වැඩි ඡන්ද විශාල ගණනකිනි. සභාපතිවරයා වීමට පෙර සිටම පාලිත තම මිනිසුන් වෙනුවෙන් සිදු කළ මහා මෙහෙවර ආරම්භ කර තිබුණි. පාලිත ගැන මතුගම මිනිසුන් අතර තිබෙන්නේ සුන්දර මතක පෙළකි. ඔහු නොගිය මළ ගෙයක් නැත. නොගිය ගමක්, වත්තක් නැත. ඔහු කිසිදු විටෙක ජාතිය ආගම සලකා මිනිසුන් තේරූ කෙනෙකු නොවේ. 2013 වර්ෂයේදී දර්ගා නගරය, බේරුවල ඇතුළු කළුතර මුස්ලිම් කලාපය තුළ ඇති වූයේ අතිමහත් අරගලකාරි තත්ත්වයකි. සිංහල මුස්ලිම් භේදය නිසා දෙපැත්තටම හානි විය. එහිදී දර්ගා නගරයේ බේරුවල මුස්ලිම්වරු වෙනුවෙන් පෙනී සිටියේ තනිවම තම පෙජරෝ වර්ගයේ ජීප් රථයේ ඔබ මොබ යමිනි. එමෙන්ම රබර් වතු තේවතුවල ඇති ලැයිම්වල සිටින පීඩිත පන්තියේ දෙමළ මිනිහා වෙනුවෙන් පෙනී සිටියේද ඔහුය. ඒ නිසා පාලිත යනු ඔවුනට තවත් එක් මන්ත්‍රීවරයකු නොව දෙවියෙකි. කළුතර දිස්ත්‍රික්කයේ ඔහු ගෙවල් ලබා දුන් පිරිස් රැසකි.

පාලිත වැඩ කළේ ඡන්ද බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුගේ එකම විනෝදාංශය වූයේ ජනතාව වෙත තම ශක්ති ප්‍රමාණයෙන් වැඩ කිරීමය. ඔහුට තිබූ එකම ශක්තිය වූයේ ධනය බලය නොවේ තමන් වටා සිටින මිනිසුන්ගේ ආදරය සහ සහයෝගය පමණි. මතුගම, බදුරලිය වැනි ප්‍රදේශවලට ගංවතුර යනු අරුමයක් නොවේ. සාමාන්‍ය දෙයකි. එහෙත් ගංවතුරෙන් පීඩාවට පත්වන්නෝ එහි සිටිති. ඒ අතරින් කුඩා දරුවන් විශේෂය. අප සමඟ සේවය කරන සහෝදර මාධ්‍යවේදිනියක් සිටී ඇය පාලිතගේ ගමේය. ඇය කුඩා දරුවකුව සිටියදී සැඩ පහරින් එ‍ෙතර කර ඇත්තේ පාලිතය. එදා සිට මරණය දක්වාම ඔහු කුඩා දරුවන් වෙත ඇති කරගෙන තිබුණේ දැඩි ආදරයකි. එය ආදරණීය පීතෘ ප්‍රේමයක් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ළදරු පාසල්, පාසල් ඔහුට තමන්ගේ දරුවා සිටින පාසල් මෙනි. දරු කැක්කුමෙන් ඔහු නොකරන දෙයක් නැත. දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබා ගන්නා නිලධාරීන්, දේශපාලනඥයන් අතර පාලිත අහිංසක මාපියන්ගේ දරුවන් වෙත පාසලක් ලබා දීමට ඉදිරිපත් වූයේ නිරායාසයෙනි. ඔහු අසාධාරණය අයුක්තිය ඉදිරියේ කිපෙන්නේ සිංහයෙකු මෙනි. ඔහු සම්බන්ධ එවැනි සුන්දර මතක ඕනෑවටත් වඩා තිබේ.

පාලිතගේ ගමට කෙතරම් වර්ෂාව ලැබුණද එහි ජනතාව විඳින එක් ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ පානීය ජල ගැටලුවයි. නියං සමයේදී එය වඩාත් උග්‍ර අතට හැරේ. එවිට ඔහු කරන්නේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දෙයි. ඉන්පසු වසංගත කාලයේදී ජනතාවට බත් පත පමණක් නොව වියළි සලාකයද බෙදයි. ඔහු ගැන රටම කතා කළේ පසුගිය කොවිඩ් වසංගත කාලයේදීය. එදා මරබියෙන් වෙවුලූ බොහෝ දේශපාලනඥයන් ගෙයින් එළියට බැස්සේ නැත. එහෙත් පාලිතට එසේ සිටීමට නොහැකි විය. ඔහු කිසිදා මරණයට බය වූ කෙනෙකු නොවේ. කොවිඩ් ඇඳිරි නීතිය නිසා රටම අගුළු වැටී තිබූ කාලයක මැද පන්තියේ අය ජීවිතය ගැට ගසා ගත්තද එදිනෙදා කුලියක් කරන පොඩි මිනිසුන්ට බත් වේලක් හොයා ගැනීම යනු සිහිනයක්ව තිබුණි. එහිදී ලොරි රථ කිහිපයක් ලවුඩ්ස් පීකරයක් සහ තමන්ගේ පැජරෝව පාරට ගත් පාලිත ගෙන් ගෙට ගියේ බඩ පිරෙන්නට බත් මාළු මෙන්ම වියළි ආහාර පමණක් නොව ආදරය සහ ගමේකමද රැගෙනය. ඔහු එසේ කළේ ඡන්ද බලාපොරොත්තුවෙන් නොවේ. එසේ ගමට ලොකු වැඩක් කළ පාලිතට 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් අවුරුදු දහයක් නියෝජන කළ පාර්ලිමේන්තු ආසනය හෝ දිනා ගැනීමට නොහැකි විය. එමෙත් පාලිත දිනුම මෙන්ම පරාජයද උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේය.

තමන්ගේ මියගිය පුතා පිළිබඳව ද පාලිත තුළ මහා ආදරයක් තිබුණි. ගමේ අය කියන ආකාරයට පුතු මිය ගියද ඔහු පුතු වෙනුවෙන් දිනපතා බත් පතක් වෙන් කළේය. ඔහු සිහිවීම පිණිස ඉදිකළ බුදු මැදුර පිරිසුදු කිරීම ඇතුළු බොහෝ දේ සිදු කළේද පාලිතගේ අතිනි.

පාලිත මරණයෙන් පසු අවසාන කටයුතු පවා සැලසුම් කළේ වෙනස් විදිහකටය. සදා කාලයටම ජීවත් වීමටත් සදා කාලීකය බලය ඉසිලීමටත් සිහින දකින අය අතර බලය අතහැරීම මෙන්ම ජීවිතයේ අනිත්‍ය ස්භාවය පිළිබඳවද සරල ලෙස සිතූ පාලිත පස්දුන් කෝරළයට පමණක් නොව මුළු රටටම සදාතනික මතකයකි.

දරුවන් නව දෙනෙකුගේ පාසල් ගමන වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා වැඩ කළ ඔහු කොවිඩ්වලින් පීඩිතව මරණයේ බිමක්ව තිබූ බණ්ඩාරගම අටලුගමට ඇතුළු වී ආහාර වර්ග ලබා දෙමින් එහි සිටින මුස්ලිම් සහෝදර ජනතාව රැක ගත්තේ වැඩිමහල් සහෝදරයකු තම බාල සහෝදරවරු රැක ගන්නා තරම් ආදරයෙනි.

තම දේශපාලන ප්‍රතිවාදීන් ගැන පවා පාලිත දැරුවේ වෙනත්ම අදහසකි. නයි මුගටි දේශපාලනය වෙනුවට ඔහු කළේ සියල්ලන් සමඟ සුහද දේශපාලනයකි. අලි, පොහොට්ටු, දුරකතන මාලිමා බෙදීම වෙනුවට සියල්ලන් ආදරයෙන් බදා ගැනීම ඔහුගේ දේශපාලනය විය. 2020 මැතිවරණයෙන් පරාජය වූ පසු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් පාලිත සඳහන් කළේ තමන් පරාජය වුවාට තමන්ට දුකක් නැතත් වෙනත් දේශපාලන පක්ෂයකින් තරග කළ වෛදවරයකු පරාජය වීම ගැන තමන් අවංකවම දුක් වන බවය. ඇත්තෙන්ම පාලිතගේ අව්‍යාජ දේශපාලනය ඒ වගේය. පාලිත තෙවරප්පෙරුම මියගියද තෙවරක් නොව දහස් වරක් ඔහු කළ මහත් මහජන සේවය කැපවීම මෙන්ම අව්‍යාජත්වය ගැන අප කල්පනා කළ යුතුය. එවැනි අවංක මිනිසුන් දහස් ගණනින් අපේ දේශපාලනයට අවැසි බව පමණක් සඳහන් කරමින් මෙම සටහන නිමා කරමු.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT