Monday, May 6, 2024
Home » සජිත් සහභාගි නොවී හර්ෂ-ඉරාන් ටීම් එක එව්වත් අපි රෙඩි

සජිත් සහභාගි නොවී හර්ෂ-ඉරාන් ටීම් එක එව්වත් අපි රෙඩි

by sachintha
April 26, 2024 1:51 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට බැරි නම් සමගි ජන බලවේගයේ ඉරාන්, හර්ෂ හා කබීර් එක්ක විවාද කරන්නට වුවද සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. තවදුරටත් විවාද කරමින් විවාදය මඟ හැරීමට උත්සාහ නොකර තනිව හෝ කණ්ඩායමක් සමඟ විවාදයට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව ද ඒ මහතා කීවේය.

පඳුරු අස්සේ ඉන්නා අය වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා විවාදයට පැමිණෙන්නේ නම් ජාතික ජන බලවේගය සතුටු වන බවත් දින පිළිබඳ ප්‍රශ්න ඇත්නම් සාකච්ඡා මඟින් වෙනත් දිනයක් තීරණය කිරීමට හැකි බවත් ඒ මහතා කීය.

ජනතාවාදී පාලනයක් ගොඩනැඟීම වෙනුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් බලගන්වමු මැයෙන් පෙරේදා (24) මහනුවර නගරයේදී පැවැති වැඩසටහනට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේය.

සජිත් සහභාගි නොවී සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව දැනට නියෝජනය කරන ඉරාන්, හර්ෂ හා කබීර් විවාදයට එවන්නේ නම් ඔවුන් සමඟ විවාදය කරන්නට ද ජාතික ජන බලවේගය සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනපතිවරණයට ඉදිරිපත් වීම නිශ්චිතව තහවුරු කර තිබෙන අපේක්ෂකයන් අතර විවාදයක් පැවැත්වීම මෙරට දේශපාලන සංස්කෘතිය යහපත් දිශානතියකට යොමු කිරීමට හේතුවක් වනු ඇතැයි ද මේ නිසා බෝල පාස් නොකර විවාදයට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බවත් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.

එජාපය, සමගි ජන බලවේගය, පොහොට්ටුව ඇතුළු සියලු පක්ෂ මේ වන විට ජාතික ජන බලවේගය විවේචනය කරන්නට පටන්ගෙන තිබෙන බවත් අද ජනතාව ජාතික ජන බලවේගය එක්වන ආකාරය දැක ප්‍රධාන පක්ෂ බියට පත්ව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

මොවුන් සියලු දෙනා එක දේශපාලන කඳවුරකට ගොනු වුණත් මේ රටේ ජනතාව ඔවුන් සමඟ එකතු නොවන්නේ යැයි ද ඒ මහතා කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT