Sunday, May 5, 2024
Home » ජනපති නායකත්වයෙන් සියලු අභියෝග ජයගත හැකියි – හිටපු ඇමැති රවී කරුණානායක

ජනපති නායකත්වයෙන් සියලු අභියෝග ජයගත හැකියි – හිටපු ඇමැති රවී කරුණානායක

by sachintha
April 26, 2024 1:18 am 0 comment

සියලු අභියෝග ජයගැනීමට පටු දේශපාලන දෘෂ්ටිවාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සඳහා නායකත්වය දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ තොටළඟ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ සියලු අභියෝග ජයගැනීමට මුළු රටම එක මිටට එකා සේ ඒකරාශී විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි. ඔහු හැර වෙන කිසිම විකල්පයක් රටට හෝ ජනතාවට ඉතිරිව නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින් ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් දෙමින් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. System Change ගැන කතා කරන උදවිය ජනාධිපතිවරයාගේ මේ සාධනීය දේශපාලන, ආර්ථික සහ සමාජ වැඩපිළිවෙළ හමුවේ භීතියට පත්ව මේ ගමන යළි හැරවීමට විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටිනවා. ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර System Change කරන්නේ කෙසේද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අප මේ අවස්ථාවාදීන්ගෙන් සහ බලලෝභී අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. ප්‍රතිසංස්කරණවලින් තොරව System Change සිදු නොවන බව කුඩා දරුවකු පවා දන්නවා.

මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. නමුත් ඒ සඳහා පැමිණි බාධා අතිවිශාලයි. විවිධ අවලාද නැගුවා. අපට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. ඒ චෝදනා අපේ දේශපාලන කටයුතුවලට ඉතාම නරක ලෙස බලපෑවා. නමුත් අප අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ඒ රට සහ ජනතාව වෙනුවෙන්.”

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියැදුරන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ඉදිරි සුබසාධන කටයුතු නඟාසිටුවීමට සියලු ත්‍රිරෝද රථ සංගම් නියෝජනය කරමින් ‘එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය’ නමින් නව සංගමයක් ද ආරම්භ කරනු ලැබීය. මෙහිදී මූලික අදියර යටතේ නිලධාරී මණ්ඩලය පත් කර ගත් අතර, ඉදිරියේදී පුළුල්ව මේ සංවිධානය රට පුරා දීප ව්‍යාප්ත කිරීමට ද යෝජනා කෙරිණි. එක්සත් ජාතික පක්ෂය මූලික කර ගත් ප්‍රථම ත්‍රීවීල් රථ සංගමය ලෙස ද මෙය හැඳින්වේ.

නෙත්මි පූජනී රත්නායක සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT