Monday, May 6, 2024
Home » මොරගහහේනේ ධනවත් කතකගේ නි‍ෙවසට පැන සිරුරට ගිනි තියලා

මොරගහහේනේ ධනවත් කතකගේ නි‍ෙවසට පැන සිරුරට ගිනි තියලා

by sachintha
April 26, 2024 1:18 am 0 comment

ධනවත් කාන්තාවකගේ මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ නිවසට හොර රහසේ ඇතුළු වී ඇයගේ සිරුරට ගිනි තබා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මොරගහහේන පොලිසිය කියයි.

බරපතළ තුවාල ලද කාන්තාව රෝහල්ගත කර ඇත. සැකකරු නිවස තුළට ගෙනා මන්නා පිහියක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝතලයක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධියෙන් බරපතළ පිලිස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි විවාහක කාන්තාවකි. පිලිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවස ආසන්නයේම පදිංචි සැකකරු

ඔහුට අයත් නිවස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සාහ දරා ඇති අතර, මුල් දිනවල එය රුපියල් ලක්ෂ 60ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇති අතර, එම අවස්ථාවේදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුකාලීනව ඔහු ප්‍රදේශයේ දියුණුවත් සමඟම නිවස සහ ඉඩම රුපියල් ලක්ෂ 80කට විකුණන බව පවසා විවිධ පාර්ශ්වයන් අතර ප්‍රචාරය කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ද මීට දින කීපයකට ඉහතදී ලබා දී ඇතැයි පොලිසිය කියයි.

අදාළ ගැනුම්කරු සමඟ පිලිස්සුම් තුවාල ලද කාන්තාව අදාළ ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බව පැවැසීමෙන් අනතුරුව එම ගැනුම්කාර පුද්ගලයා ඉඩම් හිමියා (සැකකරු) හමුවී පිලිස්සුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බවට පැවසූ බව (සැකකරුට) ඉඩම් හිමියාට පවසා තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් (සැකකරුගෙන්) ඉඩම් හිමියාගෙන් නැවත ඉල්ලා ඇතැයි ද, එම අවස්ථාවේදී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත් ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබා දිය හැකි බවත් එම පුද්ගලයා සමඟ පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි. මෙයින් දැඩි කෝපයට පත් සැකකරු පෙරේදා (24) සවස මන්නා පිහියක් සහ පැට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවසට ඇතුළු වී ඇයගේ සිරුරට පෙට්‍රල් විසි කර ගිනි තබා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

කාන්තාවට ගිනි තැබීමත් සමඟම කලබලයට පත් වූ සැකකරු කාන්තාව මිය යන්නට ඇතැයි සිතා ඔහු රැගෙන ආ මන්නා පිහියද නාන කාමරයේ ඉදිරිපිට පුටුවක් මත දමා ගොස් තිබූ බව පොලිසිය කියයි.

සැකකරු මන්නා පිහිය සහ පෙට්‍රල් බෝතලය රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවසට ඇතුළු වන අයුරු එම කාන්තාවගේ නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කාන්තාව නිවස තුළ නාන කාමරයේ රැඳී සිට ඇති අතර, පිලිස්සුම් තුවාල ලද ඇය දන්නා හඳුනන නිවසක පුද්ගලයකුට ඇමතුමක් ලබා දී සැකකරුගේ නම පවසා ඔහු පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පවසා තිබූ අතර, ඔහු බිරිය සමඟ පැමිණ ඇයව ත්‍රිරෝද රථයකින් රෝහල්ගත කිරීමට උත්සාහ දරා ඇතත් එලෙස ගෙන යාමට අපහසු වූ බැවින් 1990 සුව සැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ඇයගේ එකම පුතු විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. සැකකරු පානය කළ බීඩියක කොටසක් සහ රැගෙන එන ලද පැට්‍රල් බෝතලයේ මූඩිය නාන කාමරය තුළ වැටී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. සිද්ධියත් සමඟම නිවස වසා සැකකරු සහ ඔහුගේ බිරිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

පාණදුර පොලිස් කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර උප පොලිස් පරීක්ෂක අබේකෝන්, කාන්තා පොලිස් කොස්තාපල් (6921) සරෝජනී යන නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ. පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.සී. මධුසංක, පොලිස් කොස්තාපල්වරුන් වන (99257) ජයතිලක, (20837) ප්‍රදීප්, (93389) ජයවර්ධන මහත්වරුන් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT