Home » ශ්‍රී වික්‍රම රිදී තිරයට

ශ්‍රී වික්‍රම රිදී තිරයට

by mahesh
November 10, 2023 1:00 am 0 comment

මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටය අද ( 10) සිට රිද්මා මණ්ඩලයේ සිනමාහල් වලදී තිරගත කෙරේ. අඛිල ධනුද්ධර, ශ්‍රියන්ත මෙන්ඩිස්, චුලක්ෂි රණතුංග, ශ්‍යාම් ප්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, බුද්ධදාස විතානාච්චි, පාලිත සිල්වා, ශාලිකා එදිරිසිංහ, ක්‍රිස් හැරිස්, ප්‍රසන්නජිත් අබේසූරිය ආදිහු රඟති. ශ්‍රී වික්‍රම, වෛද්‍ය ගිහාන් ගොඩකන්දගේ නිෂ්පාදනයකි.


විහඟ ප්‍රේමය අමෙරිකාවේ

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ විහඟ ප්‍රේමය (peacock lament) චිත්‍රපටය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 9 වැනි ඒෂියන් වර්ල්ඩ් අන්තර්ජාතික සිනමා උලෙළේ ‘නැවුම් ක්ෂිතිජය’ (New Horizon) තරගකාරී අංශයට තෝරාගෙන ඇත. සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ ආදිහු රඟති. සංජීව පුෂ්පකුමාර, අමිල් අබේසේකර මෙරට වෙනුවෙන් ද ෆිල්ග්‍රිම්ස් සමාගම ඉතාලිය වෙනුවෙන් ද සම නිෂ්පාදනය කළ මෙහි සහාය නිෂ්පාදනය සුරංග හඳපාන්ගොඩ හා යුගන්ති යශෝදරාගෙනි.


හීන 16දා නාඩාහිදී

චාමර හපන්ගම අධ්‍යක්ෂණය කළ ‘හීන’ ළමා නර්තන හා සංගීත සැඳෑව සමඟ Lifecoach උදයා දේවාමුල්ලගේ ගීත විචාර වැඩසටහන 16දා සවස 6ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (නාඩා) පැවැත්වේ. රංග වින්‍යාසය උවිඳු අබේසූරියගෙනි. නර්තන වින්‍යාසය තරුෂි සශිනිගෙනි. මෙය YAHA Music Academy සංවිධාන කරයි.


සින්දු ලියන භෞත චිකිත්සකවරිය මදාරා සරසි ද සිල්වා

ආදරය සොඳුරුය කියා
මම සිතුවමක් ඇන්දා…

මේ අලුත් ගීය නිසා රටතොට කතාබහක් ඇතිවී තිබෙන වටපිටාවේදීයි ඉකුත්දා අපි එහි වගතුග සොයා බැලුවේ. කරුණාරත්න දිවුල්ගනේ ගයන එහි තනුව සහ සංගීතය විශාරද රෝහණ ධර්මකීර්තිගේ. ඒ හැරෙන්නට එහි පද රචිකාව තමයි අද අපේ කතානායිකාව. ඇය මදාරා සරසි ද සිල්වා. ඈ අපට අමුත්තියක් නොවෙයි. භෞත චිකිත්සකවරියක ලෙස කලක් මෙරට සේවය කළ මදාරා දැන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන්නේ. මේ ඇයගේ සත් වැනි ගී පද රචනයයි. උදානි රත්නායක ගයන, ‘විදුලි මිණි පහන් සමකර ඇහැළ මල් වැලෙන් හැඬකර’ ගීයෙන් ඇරඹූ ගමන ඇය, උදානිම ගයන ‘හිරු නොබසිනා දේශයේ’ ගීයෙත් රචකාව. රොහාන් ශාන්ත බුල්ගොඩට ‘සරෝජනී මේ ඇත්තයි’, චන්ද්‍රසිරි සේදරහෙට්ටි ගයන ‘මතකයේ මං තීරු බොඳ වී’, ‘බොහෝ සඳ නැඟ’ ආදී ගී ලියූ මදාරා විද්‍යා ලේඛිකාවක ද වෙනවා. එසේම, අංශබාගයේ වග විභාග – භෞත චිකිත්සක ප්‍රතිකාර ආදී කෘති රචනා කළ ඇය බහුචරිතධාරිනියක ලෙස අප හමුවන මදාරා කියන්නේ කාලයක් ගත කොට හදිසි නොවී, හොඳ නිර්මාණ බිහි කිරීම අපේක්ෂාව වන බවයි.


සපූ මහරගමදී ගී සුවඳ විහිදයි

ප්‍රවීණ ගී පද රචක කුමාරදාස සපුතන්ත්‍රිට උපහාර පිදෙන ‘සපු මල සුවඳමය’ ප්‍රසංගය 18දා සවස 6.30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. විශාරද එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, ටී. එම් ජයරත්න, බණ්ඩාර අතාවුද, දයාන් විතාරණ, ජානක වික්‍රමසිංහ, ආනන්ද වීරසිරි, විහඟ විජේසේකර ගී ගයති. සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. කථනය ඉන්ද්‍රසිරි සුරවීරය.


රෑ සංගීතෙට එන කෝල දෑස

‘කෝල දෑස’ මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනප්‍රිය ගීතයක්. විවිධ නාළිකා ඔස්සේත් රූප රාමු සහිතව මෙය විකාශය කෙරෙනවා. ඒ හඬත් දෑසත් පෙරත් අපට හුරුයි. පුරුදුයි. දිල්හානි එදිරිසිංහ. ඇයයි අපේ කතා නායිකාව. මේ දිල්හානිගේ 11වැනි ගීතය. පෙර ආත්මයෙන්, ලොවම නිදිගත් රැයේ, රන්මාල හතක්, තව එක්වරක් ආදී ඇයගේ ගීත ප්‍රසංග වේදිකාව, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ජනප්‍රිය තලයේ පවතින මෙකල දිල්හානි දොඩමළු වුණේ මෙහෙමයි.

‘මං කුරුණෑගලින් කලාවට ආවේ. අවුරුදු 7ක් තරම් පොඩි කාලේ ඉඳන් මම ප්‍රසංග වේදිකාවේ සින්දු කියන්නේ. ඒත් මේ කාලේ නම් වැඩිපුර වේග රිද්ම ගීත තමයි ගයන්නේ. මාසයක් තරම් කෙටි කාලයක් තුළදී ප්‍රසිද්ධ වුණු ‘කෝල දෑස’ සින්දුවේ තනුව, ගී පද තරිඳු කොස්තාගේ. ඔහු සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදක. සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එකේ ප්‍රියන්ත නාවලගේ ඒ ගීයට සංගීත සංයෝජනය කළේ. ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් එක්ක, කොරියාව, ඩුබායි, මාලදිවයින ආදී රටවල ප්‍රසංගවලට එක් වෙන්නත් ලැබුණා. විවිධ ආරයේ ගීත ගායනය මට සතුටක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සංගීතය හැදෑරීම මට මගේ ඉදිරි ගමනට මහඟු අත්වැලක්. ඒත් එක්කම, විදෙස්ගතව ව්‍යාපාර අධ්‍යයනය කළ මං කලාවට සමගාමීව ව්‍යාපාර ක්ෂේත්‍රයේත් නිරතව සිටිනවා. මගේම ගීත එකතුවක් එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට පසුබිම් ගායනයට වගේම නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන්නත් මං කැමැතියි…’


රන්මිණි දියවර උතුරා ගැලූ අපූරුව

‘රන්මිණි දියවර’ පස්බාගේ කෝරලේ සංස්කෘතික කලා මංගල්‍ය ඉකුත්දා නාවලපිටිය නගර මධ්‍යයේදීත් එම නගර සභා ශ්‍රවණාගාරයේදීත් පැවැත්විණ. පාසල් සිසු සිසුවියන්, තරුණ තරුණියන් රැසකගේ සාහිත්‍ය, ප්‍රාසාංගික, දෘශ්‍ය කලා කුසලතා එළිදැක්වූ එය පළාත් පාලන ආයතන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ව්‍යාපාරික ප්‍රජාව ආදී රාජ්‍ය හා පුද්ගලික අංශ රැසක් ඒකාබද්ධව සංවිධානය කර තිබිණ.


ආරොන්ගේ නිවුන් පෙම

ආරොන් කාටර් යනු හොලිවුඩයේ හිටපු දක්ෂ තරුණ රැප් ගායකයෙක්, ගී පද රචකයෙක් වගේම නළුවෙක්. ඔහු හදිසියේම මෙලොවින් සමු ගත්තා. ඔහුගේ මරණයෙන් වසර ගෙවුණු කල ඔහුගේ නිවුන් සොයුරිය ඒන්ජල් කාටර්, තමන් සමඟ එකටම උපන් සිය සොහොයුරා වෙනුවෙන් දුක් වෙමින් ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කර තිබුණේ ‘ආරොන් මිය ගොස් වසරක් ගත වී ඇතත් ඒ බව මට තවමත් විශ්වාස කිරීමට අපහසුයි. ඔහු ආදරණීය මෙන්ම සැහැල්ලු, සංවේදී පුද්ගලයෙකු ලෙස මගේ මතකයේ සදහටම රැඳී සිටියි, ආරොන් මම ඔයා ගැන නිතරම හිතනවා’… වශයෙනි.

පසිඳු මිහිරාන් රැටියල, නුවන් මහේෂ් / ඡායා - මෙනුර සහන්දිත්, නෙත්මි පූජනී,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT