Home » රටේ ධනාත්මක ආර්ථික වර්ධනයක් කෙමෙන් ඇති වෙමින් තිබෙනවා

රටේ ධනාත්මක ආර්ථික වර්ධනයක් කෙමෙන් ඇති වෙමින් තිබෙනවා

කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න

by mahesh
March 15, 2024 1:00 am 0 comment

මෙරට ආර්ථිකය පිළිබඳ මෙරට පමණක් නොව, ආසියානු කලාපයටත් ඉන් ඔබ්බටත් වෙසෙන ජනතාව දැඩි අවධානයකින් යුතුව බලා සිටිති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ අන්තර්ජාතික ණය පිළිබඳ එකඟතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් පවතින මෙකල අපට වඩා යහපත් හෙටක් වෙනුවෙන් ගත හැකි මඟ කුමක්ද? එහිදී වැදගත් නිරීක්ෂණ, නිගමන මොනවාද? අපි දැන් ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟ සාකච්ඡා කරමු.

– අපනයන නිෂ්පාදන වැඩි විය යුතුයි
– අපම හදාගත් ප්‍රශ්නයකින් අප විඳවනවා
– බදු ක්‍රමය හදාගැනීම අතිශයින්ම වැදගත්

රාජ්‍ය ආදායම් වර්ධනය පිළිබඳ සතුටු විය හැකි ද?

ශ්‍රී ලංකාව පහළට කඩාගෙන වැටිලා තිබුණ තත්ත්වයේ ඉඳන් ඉහළ නැඟීමක් දැන් තිබෙනවා. ඇත්තෙන්ම, ධනාත්මක ආර්ථික වර්ධනයක් දැනට ඇති වෙමින් තිබෙනවා කියන්න පුළුවන්. ඒ වගේම උද්ධමන වේගය පාලනය කරගෙන තිබෙනවා. මේ වගේ දේවල් තුළ කිසියම් ආකාරයක ප්‍රගති මාවතකට රට හැරිලා තිබෙනවා කියලා දකින්න පුළුවන්. ඒත්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මේ අනතුරෙන් එළියට ඇවිල්ල්ලා කියලා. ඉතින්, තවම දැඩිසත්කාරෙ ඉඳලා මෙරට කියන ලෙඩා එළියට ගත්තා විතරයි. නිධන්ගත රෝගවලට තව අවුරුදු ගණනාවක් බෙහෙත් කරන්න තිබෙනවා. ඒකට ඉදිරියටත් තිත්ත බෙහෙත් තමයි කරන්න තියන්නෙ.

රාජ්‍ය ආදායම් වර්ධනය පිළිබඳ නම් සතුටු වෙන්න පුළුවන් මට්ටමක් නැහැ. හේතුව තමයි අපේ අය වැය හිඟය. ඒක තවමත් හිඟයක් ලෙසයි පවතින්නෙ. මේ අවුරුද්දේ (2024) අය වැය සඳහා අපිට ගන්න තියන ණය ප්‍රමාණය බිලියන 7000 කට පමණ වැඩි කරගෙන තිබෙනවා. ඒක දෙගුණයක් විදියට වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නෙ අපි තාම ණය වෙනවා. ණය වෙමින් තමයි රට තාම යන්නෙ. ඉතින් එහෙම ණය වෙවී යනවා නම් අපේ ආදායම් වැඩි කරගෙන නැහැ. ඒක පිළිබඳ සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. ආදායම් වැඩි කර ගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න තිබෙනවා. ඒවා ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම වියදම් කපා හැරීම පැත්තෙන් බැලුවාම මම හිතන්නෙ අපි වියදම් කපා හරිනවට වඩා වියදම් වැඩි කරගෙන තිබෙනවා. ඒ කාරණා දෙකම ගත්තම අපේ අය වැය තත්ත්වය සහ ආණ්ඩුවේ ආදායම් තත්ත්වය තාම සුදුසු මට්ටමකට ඇවිල්ලා නැහැ.

IMF ණය වාරික ගෙවන්න ආරම්භ කරලා තිබෙනවාද?

අපේ තිබෙන ණය තාම ගෙවන්න පටන් අරගෙන නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, එතකොට සම්පූර්ණ විදේශ ණයවලින් කොටසක් තමයි ඒකට අයිති වෙන්නෙ. පෞද්ගලික, වාණිජ ණය කියන කොටස සහ ඉන්දියාව, චීනය, ජපානය යන රටවල් තුනත් සමඟ ගත්ත ද්විපාර්ශ්වීය ණය අයත් වෙනවා. එතකොට අපි බහුපාර්ශ්වීය ණය තමයි ගෙවන්නෙ. ද්විපාර්ශ්වීය ණය සහ වාණිජ ණය කියන ඒවා තවම ගෙවන්න ආරම්භ කරලා නැහැ. මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒවා ගෙවන්න ආරම්භ කරයි කියලා විශ්වාස කරනවා. ඒත්, ඒක සිදු වෙන්නෙ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතාවකට පැමිණියාට පසුවයි. ඒක තවම සාකච්ඡා මට්ටමේ පවතින දෙයක්.

ණයක් දීර්ඝ කිරීමෙන් ණය වාරිකය අඩු වෙනවාද?

ඔව්, මාසෙකට රුපියල් ලක්ෂයක් ගෙවන්න තිබෙන කෙනෙක් ඉල්ලා සිටිනවා මාස හතරකින් අපි ඒ මුදල ගෙවන්නම් කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නෙ මාසෙකට රුපියල් 25000 ගාණෙ හතරකට කැඩෙනවා කියලනෙ. ඒ විදියට බැලුවම අපේ තියන මුළු ණය ප්‍රමාණය කාලය දීර්ඝ කරගත් විට මෙතෙක් කල් ණය ගෙවීම අත්හැර දමනකොට අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට විදේශ ණය ඩොලර් බිලියන 4ක් 5ක් පමණ ණය ගෙවමින් සිටියා. එතකොට අපිට ඕක අවුරුද්දකට ඩොලර් බිලියන දෙක තුනකට අඩු කර ගන්න පුළුවන් වෙයි. තව ඕනෙ නම් ණය නොගෙවන කාල සීමාව ඇතුළත් කර ගන්න හැකි වෙයි.

ඒක සාකච්ඡාවලින් තීරණය වන දෙයක්. එහෙම කරාම කොහොමත් අපේ මුළු ණය ප්‍රමාණය අඩු වෙන්නෙ නැහැ. ඒක වැඩි වෙනවා. අතපසු වෙන ඒවත් එක්ක එකතු වෙනකොට ඒක වැඩි වෙනවා. නමුත් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රමාණය කළමනාකාරණය කර ගත හැකි මට්ටමට (ණයවල තිරසර බව වැඩි කර ගැනීම) කියන්නෙ ණය අඩු වෙනවා කියන එක නෙමෙයි. ඒ ණය ප්‍රමාණය ගෙවන කාලය කාලයක් තිස්සෙ ගෙවන්න පුළුවන්කම අපි හදා ගන්නවා කියන එක සහ පුළුවන් මට්ටමෙන් ණය ගෙවන්න පටන් ගන්නවා කියන එකයි. ඒ අනුව ණය කාලය දීර්ඝ කරනකොට අවුරුද්දකට ගෙවන ප්‍රමාණය අඩු වෙනවා. ඒත් මුළු ණය ප්‍රමාණය අඩු වෙන්නෙ නැහැ.

ජනතාව පීඩාවට පත් වී තිබෙන දැරිය නොහැකි ජීවන බර පිළිබඳව ඔබේ අදහස?

අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ, ආර්ථික අර්බුදයක් ඇති වුණාම ජනතාව තමයි ඒකෙන් පීඩාවට සහ වේදනාවට පත් වෙන්නෙ. ජනතාවට තමයි ඔක්කොම සිදු වෙන්නෙ. ලෝකෙ ආර්ථික අර්බුද ඇති වු‍ෙණ් ග්‍රීසිය, වෙනිසියුලාව, ලෙබනනය වගේ සෑම රටකම ජනතාව තමයි පීඩාවට පත් වුණේ. ඒක පුදුම විය යුතු කාරණයක් නෙමෙයි. මිල ගණන් වැඩි වෙලා, භාණ්ඩ හිඟ වෙලා, ජනතාවගේ ආදායම් අඩු වෙලා, රැකියා නැති වෙන දේට තමයි ආර්ථික අර්බුදයක් කියලා කියන්නෙ. අපේ රට අපි ආර්ථික අර්බුදයකට අරගෙන ආවා. ජනතාවත්, දේශපාලනයත් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේක කර ගත්තෙ. එතනට ආවම අපිට කියන්න බැහැ ජනතාවට කන්න නැහැ, ජනතාවට සල්ලි නැහැ කියලා. මොකද අපි හදාගත්ත ප්‍රශ්නයක් තමයි අපි මේ විඳින්නෙ.

වර්තමාන භාණ්ඩ මිල පිළිබඳ කතා කළොත්?

බඩු මිල නම් අඩු වීමක් සිදු වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල වැඩි වීමක් තමයි වෙලා තිබෙන්නෙ. එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවේ මූලික අහාර ද්‍රව්‍යවල මිල දැන් වැඩියි. එංගලන්තයේ මිනිස්සු ආහාර සඳහා මීට වඩා අඩුවෙන් වියදම් කරන්නෙ. අපේ රටේ ඊට වඩා වැඩියි. එතකොට ඇත්තටම මිනිස්සු තමන් කන බොන දේවල් කපා හැරලා දුක් විඳිනවා. ඒක ආර්ථික අර්බුදයේ ලක්ෂණයක් තමයි. සමස්තයක් වශයෙන් ගත්විට ඒ වැඩි වුණ භාණ්ඩ මිල ගණන් නැවත අඩු වෙන්නෙත් නැහැ. නැවත යථා තත්ත්වයට පත් වෙනවා නම් මිනිස්සුන්ගෙ ආදායම් තත්ත්වය වැඩි වෙලා, ව්‍යාපාර වැඩිදියුණු වෙලා, රැකියා වර්ධනය වෙලා ඉහළට ඒම තමයි සිදු විය යුත්තෙ. ඒ දේ අවුරුද්දකින් දෙකකින් සිදු වෙන්නෙ නැහැ. මම හිතන විදියට ඒ දේට තව අවුරුදු 10ක් වගේ ගත වෙයි. එහෙම තමයි ආර්ථික අර්බුදයකට වැටුණු රටක් නැවත ගොඩනැඟෙන්නෙ.

බදු එකතු කිරීමෙන් සහ රජයේ වියදම් කප්පාදු කිරීමෙන් පමණක්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?

ඒ ආර්ථික අර්බුදයේ එක් කොටසක් විතරයි. ඒ දේවල් කොටස් දෙකකට බෙදෙනවා. කෙටි කාලීනව ගත හැකි ක්‍රියාමාර්ග ආර්ථික ස්ථායීකරණය කියන එක. බදු වැඩි කර ගැනීම සහ වියදම් අඩු කිරීම ඇතුළත් වෙන්නෙ ඒ කොටසටයි. අපේ රටේ මිනිස්සුන්ට ඉතිහාසයේ ඉඳන්ම බදු ගෙවීම පිළිබඳ පුරුද්දක් නැහැනෙ. අපි බදු මඟහැරලා හිටපු ජාතියක්නෙ. මේ බදු ගෙවීම පැහැර හරින ජනතාව මිලියන ගණනක් ඉන්න රටක්නෙ. ඒ දේවල් ආණ්ඩුවට ලබා ගන්න ක්‍රමයක් අපි හදාගත්තෙත් නැහැ. ඒ නිසා බදු ගෙවන්නෙ බොහොම සුළු පිරිසක්නෙ. ඒ නිසා බදු ක්‍රමය හදා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම වියදම්වල නාස්තිය අවම කිරීම, වංචා දූෂණ අවම කිරීම වගේම ඕනෑවට වඩා සාධාරණීකරණය කළ නොහැකි තරමට අපේ රටේ වියහියදම් හදාගෙන තියනවා. ඒ දේවල් නිවැරදි කරලා මේ දේවල් ක්‍රමානුකූල කර ගැනීම අවශ්‍ය වෙනවා.

ඊළඟට ආණ්ඩුවේ ආයතන හාරසිය ගණනක් පවත්වාගෙන යෑමට වියදම් කරනවා. ආණ්ඩුවේ රැකියාවලට මිනිස්සු පුරවලා ඒ දේවල්වලට ගෙවනවා. ඒවා ගෙවන්න බදු ඕනෙ. මේ දේවල් හදාගන්න අවශ්‍යයි. ඒක තමයි අපි ආර්ථික ස්ථායීකරණයෙන් කතා කරන්නෙ. අපිට ඩොලර්වලින් තමයි ණය ගෙවන්න තියන්නෙ. ඩොලර් අච්චු ගහන්න බැහැ. ඩොලර් උපයන්න ඕනෙ. තවම ඩොලර් ඉපැයීමට අවශ්‍ය ප්‍රමාණවත් කරුණු කාරණා මේ රටේ දකින්න නැහැ. විශේෂයෙන්ම අපනයන වැඩිදියුණු වෙන්න ඕනෙ. අපනයන නිෂ්පාදනය වැඩි වෙන්න විදේශ ආයෝජන වැඩි වෙන්න ඕනෙ. මේ දෙකටම අපි තවම සූදානම් වෙමින් පවතිනවා විතරයි. ඒ දේවල් යථාර්ථයක් වෙන දවසට තමයි ණය බර ක්‍රමයෙන් අඩු වෙලා, ණය ගෙවීම පහසු වෙලා, විදේශ විනිමය ඉපැයීම් වැඩි වෙලා අපේ රටේ අනාගතයක් දකින්න පුළුවන් වෙන්නෙ. ආර්ථික ප්‍රගතිය සහ ආර්ථික ස්ථායීකරණය කියන කාරණා දෙකම අවශ්‍ය වෙනවා.

ඒ සඳහා සංචාරක ව්‍යාපාරයත් වැදගත් වෙනවා නේද?

සංචාරක ව්‍යාපාරය කියන එක කොහෙත්ම ඒ දේට වැදගත් වෙන්නෙ නැහැ. බොහොම සුළු දායකත්වයක් තමයි ඒකෙන් ලැබෙන්නෙ. හේතුව තමයි සංචාරකයින් දැන් මිලියන 2ක් විතර පැමිණෙනවා. 2018 වර්ෂය තමයි සංචාරකයින් ඉතාම හොඳට පැමිණුන අවුරුද්ද. ඒ මිලියන 2.3ක්. ඩොලර් බිලියන තුනහමාරක වගේ මුදලක් තමයි අපි එතනදි සොයාගත්තෙ. අපි ඒ ගාන දෙගුණ කළත් සංචාරක මට්ටම මිලියන පහ දක්වා වැඩි කළත් ඩොලර් බිලියන හතක් අටක් වගේ තමයි අපිට හම්බ වෙන්නෙ. ඩොලර් බිලියන සිය ගණන් ඉපැයීම් පිළිබඳව තමයි මම මේ කතා කරන්නෙ.

පෞද්ගලික ව්‍යවසායක සංවර්ධනය ඇති කිරීමත් වැදගත් වෙනවා නේද?

ඔව්, ඒක වැදගත් වෙනවා. ව්‍යාපාරිකයින් සංවර්ධනය කරනවා කියලා හැම ගමක් ගානෙම, දිස්ත්‍රික්කයක් ගානෙම ගිහින් ව්‍යවසායකයින් හඳන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම රටක මුල් ජනගහනයෙන් 5% ක් විතර තමයි ව්‍යාපාරිකයින් ඉන්නෙ. ඒ කියන්නෙ බහුතරයක් ජනතාවට අවශ්‍ය වෙන්නෙ ව්‍යාපාරිකයන් වීමට නෙමෙයි රැකියාවක් සොයා ගැනීමටයි. බොහොම සුළු පිරිසක් තමයි ව්‍යාපාරිකයන් වෙන්නෙ. ඉතාමත්ම සුවිශේෂ හැකියාවන් තිබෙන සහ අවදානම් දැරීමට හැකියාව තිබෙන සුළු පිරිසක් තමයි ව්‍යාපාරිකයින් වශයෙන් ඉන්නෙ. ඒ අයට අවශ්‍ය කරන ආර්ථික නිදහස සැපයීම තමයි ආණ්ඩුව කළ යුත්තෙ. ඒ ආර්ථික නිදහස සපයන්න නම් ඒ අයගේ ආයෝජනවලට අවශ්‍ය යෙදවුම් පහසුකම් ලැබෙන්න ඕනෙ. නිෂ්පාදන පිරිවැය අඩු වෙන්න ඕනෙ. විදුලිය, ප්‍රවාහනය වගේ අවශ්‍යම වන යටිතල පහසුකම් ලැබෙන්න ඕනෙ. විවෘත ආර්ථික ක්‍රමයක් තුළ අපනයන වෙළඳපොළට පිවිසීමට ඉඩකඩ සහ දිරිදීම් ලැබෙන්න ඕනෙ. ව්‍යාපාරික සංවර්ධනය සඳහා ඒ කටයුතු තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නෙ. ඒ වගේම ව්‍යාපාරික සංවර්ධනයට විශාල වශයෙන් බලපාන නීති රීති, රෙගුලාසි සහ ආයතන පද්ධති කියන දේවල් පිළිබඳත් විශේෂ අවධානය යොමු විය යුතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දියුණු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙමෙයි.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT