Home » හම්බන්තොට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත් නොදන්වා රට හැර ගිහින්
හිටපු වෛද්‍යවරිය රට ගියාට පසු ආ

හම්බන්තොට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත් නොදන්වා රට හැර ගිහින්

අවු. දෙකට වෛද්‍යවරුන් 20ක් විදේශගත වෙලා

by mahesh
March 15, 2024 1:00 am 0 comment

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩ බලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය නොදන්වා රටින් පිටව ගොස් රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත වට්ස්ඇප් පණිවිඩයක් මඟින් දැනුම් දී තිබේ. වෛද්‍යවරිය රට හැර යෑමට පෙර නිවාඩු ඉල්ලුම් පත්‍රයක් මඟින් 2024-03-12 සිට 2024-03-16 දක්වා අනියම් නිවාඩු අනුමත කරගෙන ඇති අතර ඒ බව වෛද්‍යවරිය වට්ස්ඇප් ඔස්සේ රෝහල් අධ්‍යක්ෂවරයාට දන්වා ඇතැයි රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පැවසීය. එමෙන්ම එම වෛද්‍යවරියගේ කිසිදු පෞද්ගලික ලිපිගොනුවක් හම්බන්තොට මහ රෝහල සතුව නැති බවත් එමෙන්ම කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයදුම්පතක් රෝහල් අධ්‍යක්ෂ වෙත යොමු කර නැති බවත් හදිසියේ වෛද්‍යවරිය රටින් පිටව යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ විසින් යවන ලද ලිපියෙහි සඳහන් කොට ඇත. රෝහලේ ශල්‍යාගාර 5 සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර එක් වැඩ බලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක් එය සිදු කර නොහැකි බවත් කඩිනමින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු කරන ලෙසත් එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මේ වන විට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් විදේශගතව ඇති පසුගිය වසර දෙකක කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 20 දෙනකු විදේශගත වී ඇත. විභාග සමත්ව ඇති තවත් වෛද්‍යවරුන් පහළොවක පමණ ප්‍රමාණයක් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙලෙස වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් රෝහල් පවත්වාගෙන යෑම අවිනිශ්චිත තත්ත්වයක ඇති බවත් වාර්තා වේ.

මේ පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ සෙසු වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ දිනකට රෝගීන් 1500කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන හම්බන්තොට මහ රෝහලේ සියලු අංශ කඩා වැටීමට පෙර බලධාරීන්ගේ නෙත යොමු වී, වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

තිස්සමහාරාම - අමිල ශ්‍රී සම්පත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT