Home » හරක් හොරකමේ විමර්ශන නිලධාරීන් ලී අශ්ව ලොරියට රැවටිලා ලොරි හිමිකරු පොලිසි කැඳවයි

හරක් හොරකමේ විමර්ශන නිලධාරීන් ලී අශ්ව ලොරියට රැවටිලා ලොරි හිමිකරු පොලිසි කැඳවයි

by sachintha
March 28, 2024 1:00 am 0 comment

හරක් සොරකමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණයෙන් දුටු නැටුම් කණ්ඩායමක ලී අශ්වයන් පටවාගෙන ගිය ලොරියක් හරක් සොරකම කරන ලද ලොරිය යැයි සැක සිතා එහි හිමිකරු සමඟ පොලිසියට රැගෙන යාමේ පුවතක් කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

රාගම පොලිසියට ලද හරක් සොරකමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් දිගින් දිගටම විමර්ශනය කර ඇති රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය (19) දා ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කර තිබේ. එහිදී යකඩ පටි ගැසූ ලොරි රථයක හරක් පටවාගෙන යන ආකාරය නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව එම ලොරිය සම්බන්ධයෙන් විමර්ශනය කර ලොරි රථය අයිතිකරු සොයාගෙන තිබේ.

ඒ අනුව පසුගිය 23දා එම ලොරි රථයේ අයිතිකරු වන පොල්පිතිමූකලාන කඳාන ප්‍රදේශයේ පදිංචි චන්දන ජගත් නමැත්තාගේ නි‍ෙවසට පොලිස් නිලධාරීන් ගොස් ඇත. මෙම නිවස සොයාගෙන යන අවස්ථාවේ එම නිවැසියන්ගේ කුලී නිවසක පදිංචිකරුවකු වන මලින්ද නමැත්තාගෙන් මොහු ගැන විමසා තිබේ. චන්දන අයියා සිටින්නේ අර ගෙදර යැයි පෙන්නූ අවස්ථාවේ ඔහුවද කැටුව එම නි‍ෙවසට ගොස් ඇත.

නිලධාරීන් පස්දෙනකු මෙම වැටලීමට පැමිණ ඇති අතර, එක් නිලධාරියෙක් පොලිස් නිල ඇඳුමින් සැරසී ටී56 අවියක් අතදරා සිටි බවත් අනෙක් හතර දෙනා සිවිල් ඇඳුමෙන් සැරසී සිටී බවත් නිවැසියන් පවසයි. ඒ අවස්ථාවේ චන්දන කවුද යැයි විමසමින් නිවසට ඇතුළුවූ පොලිස් නිලධාරීන් ආහාර ගනිමින් සිටී චන්දන නමැත්තා නිවසින් එළියට රැගෙන විත් නිවස පෙන්නූ පුද්ගලයා සමඟ එකට මාංචු දමා ඇත. ඒ අවස්ථාවේ චන්දන නමැත්තාගේ බිරිය විසින් කුමක් සඳහා මොහු රැගෙන යන්නේද විමසූ බවත් ඒ කිසිවක් නොකියා කුමන පොලිසියෙන්ද යන්නවත් පැවසුවේ නැති බව පැවසුවාය.

ඒ අනුව ක්‍රියාත්මක වූ චන්දන නමැත්තාගේ බිරිය වහ වහා රාගම පොලිස් ස්ථානයට ගොස් ඇති අතර, ඔවුන්ට පොලිස් ස්ථානයේ අසුන් ගැනීමට හෝ ඉඩක් නොදුන් බවත් එතනින් ඉවත්ව පොලිසියෙන්ද බැහැරව යන ලෙස පැවසූ බව ද සඳහන් කළාය. නමුත් තම ස්වාමියා සහ අනෙක් පුද්ගලයා වෙන් වෙන් ලෙස පොලිස් ස්ථානයේ පිටුපසට ගෙන යන අයුරු දුටු බව ද ඇය කීවාය.

චන්දන නමැත්තා පවසන්නේ තමන්ට පොලිසියෙන් පහරවල් කිහිපයක් ගසමින් හරක් සොරකමක් ගැන විමසූ බවත් තමන් ඒ ගැන නොදන්නා බව පැවසීමේදී සී.සී.ටී.වි දර්ශන පෙන්වමින් මේ ලොරිය තමන්ගේ නේදැයි විමසූ බවයි. පසුව එය තමන්ගේ බව පැවසීමත් සමඟ ලොරියේ ගෙන ගියේ මොනවාදැයි විමසීමේදී තමන් නැටුම් කණ්ඩායමකට අයත් ලී අශ්වයින් හතර දෙනකු එදින ප්‍රවාහනය කර ඇති බව පැවසීමත් සමඟ, එය සත්‍යයක් දැයි සෙවීමට ඔහු අදාළ ලී අශ්වයන් කුලියට දෙන ස්ථානයට රැගෙන ගොස් තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශන අනුව පෙනී ගොස් ඇත්තේ මොහු නැටුම් කණ්ඩායමක් සමඟ ඔවුන්ට රංගනයට අවශ්‍ය වන ලී අශ්වයන් රැගෙන රට පුරා පෙරහැර සහ විශේෂ අවස්ථා සඳහා ප්‍රවාහනය කරන අයකු බවය.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ මේ සම්බන්ධයෙන් මොවුන් සමඟ සුහදව සාකච්ඡා කර සිදුකර ඇති විමර්ශනයත් ඒ අනුව සැකපිට මොවුන් අත්අඩංගුවට ගත් බවත් පවසා සිදුවූ අපහසුතාවන්වලට සමාවද අයැද සිටි බව චන්දන නමැත්තා පවසයි.

පොලිසිය විසින් ලොරි රථය පොලිසියට රැගෙන ඒමේදී යම් පාඩුවක් හෝ හානියක් වූවා නම් එයටද සමාව ඇයැද ඇති පොලිසිය අලාභයක් ඇත්නම් එය පියවා දීමට පොරොන්දු වූ බව ද චන්දන පැවැසීය.

චන්දන නමැත්තාගේ බිරිය පවසන්නේ ක්ෂණිකව පොලිසිය තම නිවසට පැමිණ මොහු අත්අඩංගුවට ගැනීම නිසා තමන් දැඩි භීතියටත් කුතුහලයටත් පත්වූ බවත් තම දරුවා තවම එදින ඇතිවූ සිද්ධිය සිහි වී නින්දෙන් බිය වී නැඟිටින බවත්ය. නිවස පෙන්වූ මලින්ද නමැත්තා තමන් පොලිසියට රැගෙන ආවේ කුමක් නිසාද විමසූ විට පවසා ඇත්තේ ඔහු කොණ්ඩය වවා රැවුල වවා සිටීමත් ඒ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන්

ඔහු ගැන යම් සැකයක් ඇතිවූ නිසා බවය. නමුත් ඔහු පවසන්නේ ඔහුට පොලිසියෙන් පහර නොදුන් බවත් ඔහුගෙන් කිසිවක් නොවිමසූ බවත්ය.

මේ ගැන අප රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ හරක් සොරකමක් ගැන විමර්ශනයක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට රැගෙන විත් පසුව සිදුකළ විමර්ශනවල දී ඔහු නිදොස් බව අනාවරණය වීමෙන් ඔහු මුදාහැරි බවත් සැකකරුට කිසිදු පහර දීමක් නොකළ බවත්ය.

මෙම සිදුවීමේදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු වන චන්දන නමැත්තා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කර ඇති සක්‍රියව යුද්ධයට දායක වූ අයකු බවත් හෙතෙම අලිමංකඩ සටන අවස්ථාවේ තම ජීවිතයද පරදුවට තබා සටන් කළ අයකු බවත් වසර 1993 දී තමන් සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්වූ අයකු බවත් හෙතෙම පැවැසීය.

මෙම සිදුවීම දෙස බැලීමේදී පෙනී යන්නේ පොලිස් නිලධාරීන් විසින් තම ප්‍රදේශයේ පැමිණිලි සම්බන්ධ දැඩි පරිශ්‍රමයකින් සොයා බලන බවත් මෙවැනි හරක් සොරකමක් සම්බන්ධයෙන් වුවද සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කරමින් පොලිස් නිලධාරීන්ගේ යුතුකම් ඉෂ්ට කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන බවයි. නමුත් මෙහිදී පොලිසිය විමර්ශන කිරීමේදී එම විමර්ශන ඉතා සියුම් සහ නිවැරැදිව කළ යුතු බවත් නැතිනම් මෙවැනි ආකාරයේ විහිළුසහගත අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට ඉඩකඩ බොහෝ ඇති බවය. පුද්ගලයෙකුගේ බාහිර පෙනුම නිසා අත්අඩංගුවට ගැනීම, සැකකරුවන්ට හිරි හැර කිරීම් බිය වැද්දීම් නිසා පොලිසිය ගැන තිබෙන මහජන ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත්වීම පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලක් වන බවය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT