Saturday, April 27, 2024
Home » රසල් හාමර් අභාවප්‍රාප්ත වෙයි

රසල් හාමර් අභාවප්‍රාප්ත වෙයි

by sachintha
March 28, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුලු රකින්නෙකු වූ රසල් හාමර් මහතා (76 ) අභාවප්‍රාප්ත විය.කොළඹ වෙස්ලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු 1964දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය.

ඉන්පසු නෝමෑඩ්ස් ,සැරසන්ස් හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ රසල් 1975/76 ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක් දින තරග දෙකකට ක්‍රීඩා කළේය. වසර 1968 සිට 1977 දක්වා ඔහු ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කළ අතර වමත් පිතිකරුවකු ලෙස කැපී පෙනිණි. ස්වීප් පහර ඔහුගේ ප්‍රියතම පහර වූ අතර, කඩුලු රැකීමේදී ස්ටම්ප් කිරීම සඳහා ක්ෂණයකින් බේල්ස් ඉවත් කිරීමේ අති දක්ෂයකු ලෙස කැපී පෙනුණි. ක්‍රීඩා කිරීම නැවැත්වූ පසු රසල් පුහුණුකරුවකු ලෙස ද කලක් කටයුතු කළේය.

රසල් හාමර් පිළිබඳ කැපී පෙනුණු විශේෂ සිද්ධියක් වූයේ ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වීමය. ඉන්දීය සංචාරයෙන් පසු ඔහු කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ පැවරූ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ වාමාංශික නායකයකු වූ කොල්වින්.ආර් ද සිල්වා මහතාය. නඩුවේ චුදිත පාර්ශ්වයක් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූයේ කොල්වින්ගේ දේශපාලන සගයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා මහතාය. එහෙත් එම නඩුවෙන් රසල් පරාජය වූ අතර, නැවත ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරා නොගැනිණි.

අභාවප්‍රාප්ත රසල් හාමර් මහතාගේ දේහය අද (28) පෙරවරුවේ සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය පිණිස තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු හෙට (29) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT