Home » අවසාන කාලයේ හෝ තමන්ටම කියා ගෙදරක් ලැබෙන තෙක් අවුරුදු 5ක්ම කටුගස්තොට අලුත් පාලම යට දිවි ගෙවන යුවළක්

අවසාන කාලයේ හෝ තමන්ටම කියා ගෙදරක් ලැබෙන තෙක් අවුරුදු 5ක්ම කටුගස්තොට අලුත් පාලම යට දිවි ගෙවන යුවළක්

by sachintha
March 28, 2024 1:47 am 0 comment

වසර පහකටත් වඩා වැඩි කාලයක් කටුගස්තොට අලුත් පාලම යට දිවි ගෙවන රිචඩ් සිල්වා හා සිත්ති යුවළ තමන්ට නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර දෙනු ලබන බව කී නිවාසය ලැබෙන තෙක් තවමත් බලා සිටිති.

මැසි මදුරුවන්ගෙන් මෙන්ම වැස්සෙන්, ගංවතුරෙන් නිතරම පීඩා විඳිමින් මිහිපිට අපායක ජීවත්වන මෙම යුවළ හමුවීම සඳහා පෙරේදා (26) පස්වරුවේ අප එහි යන විට රිචඩ් සිල්වා පාලම යට ගලක් උඩ වාඩි වී ගඟ දෙස බලාගෙන සිටි අතර, ඔහුගේ බිරිය සිටියේ ඉරුණු මෙට්ට කෑල්ලක වැතිරගෙනය.ඔවුන් දෙදෙනා අසල බළලුන් පස් හයදෙනකු ද සිටිනු දක්නට ලැබුණු අතර එක බළලකු සිත්තිගේ තුරුලට වී සිටිනු දක්නට ලැබුණි.

එහිදී අප සමඟ අදහස් දක්වමින් රිචඩ් මෙසේ පැවසීය.

“අපි ගැන විස්තර ටිකක් 2021 දෙසැම්බර් මාසේ 15 වැනිදා පත්තරවල පළ වුණා. එදා නුවර නිවාස සංවර්ධන අධිකාරියේ මහත්තුරු ටිකක් අපිව බලන්න ආවා. ඇවිත් කිව්වා සභාපතිතුමා හමුවෙන්න 16 වැනිදා කොළඹ යන්න එන්න කියලා. පස්සේ ඒ අයම එවකට කොළඹ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහත්තයා ළඟට මාව එක්කගෙන ගියා. ඒවා ටීවීවලත් පෙන්නුවා.දුමින්ද සිල්වා මහත්තයා එදා නුවර මහත්තුරුන්ට කිව්වා මට ගෙයක් හදලා දෙන්න ඉඩමක් බලන්න කියලා. දැන් අවුරුදු දෙකකුත් ගෙවිලා ගිහින් නමුත් අදටත් අපි ඉන්නේ කටුගස්තොට මහ පාලම යට. මායි මගේ පවුලයි තවම බලාගෙන ඉන්නවා අපිට කවුරු හරි ගේ කෑල්ලක් හදලා දෙනකල්.

දැන් අපිට වැඩක්පලක් කරගන්න වාරු නැහැ. ඉස්සර නම් පවුල අහල පහළ ගෙවල්වල වැඩක් පලක් කරල මොනවා හරි ගේනවා. නමුත් එයා ඔත්පොළ වෙලා වගේ ඉන්නේ. කවුරු හරි මොනවා හරි ගෙනැල්ලා දුන්නොත් කනවා. නැතිනම් වැඩි හරියක්ම බඩගින්නේ තමයි ඉන්නේ.”

කටුගස්තොට නගරයේ නාට්ටාමි රස්සාව කර ඇති 75 වැනි වියේ පසුවන රිචඩ් සිල්වා මීට වසර කිහිපයකට පෙර තම රැකියාව අතහැර දමා ඇත්තේ තවත් මිටි කර ගැසීමට තරම් ඔහුගේ ගතේ සවිය නොමැති වූ නිසාවෙනි. නාට්ටාමි රස්සාවට අතහැර දැමූ ඔහු පොල්ගොල්ලේ නිවෙසක මුරකරු රස්සාව කර ඇති අතර පසුව එම නිවෙස හිමිකරු විසින් විකුණා දමා රිචඩ්ට ද යම්කිසි මුදලක් ලබා දී තිබේ. එම මුදලින් කහල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන නිවෙසක් තනාගත් බවත්, ඔවුන් නිවෙසේ නැති අවස්ථාවක එම නිවෙස රජයේ ඉඩමක් බව පවසා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දැමීම හේතුවෙන් අවසානයේ පාලම යටට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“වැස්ස දවස්වල ඉන්න අමාරුයි. සීතලයි. මදුරුවෝ පිරිලා. නමුත් අපට දැන් මෙතන හොඳට හුරුයි. මොකද අවුරුදු පහක්ම පාලම යටනේ..” අවසාන කාලේ තමන්ටම කියල වැටිල ඉන්න නිවෙසක් ලැබේවි යන බලාපොරොත්තුව තවමත් සිතේ දරාගෙන සිටින සිල්වා සිත්ති යුවළගෙන් අප සමුගන්නා විට රිචඩ් සිල්වා කියා සිටියේ කවුරු හරි ධානපතියෙක් තමන්ට පිහිට වෙනවා නම් එය විශාල පිනක් බවයි.

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT