Home » කෝටි හතරක බීඩී කොළ සහ මුහුදු කූඩැල්ලන් තොගයක් කන්දකුලියේදී දැලේ

කෝටි හතරක බීඩී කොළ සහ මුහුදු කූඩැල්ලන් තොගයක් කන්දකුලියේදී දැලේ

by mahesh
March 29, 2024 1:00 am 0 comment

නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතරක ආසන්න වටිනාකමින් යුත් බීඩි කොළ හා මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් එහි රියැදුරු සහ රිය සහායකත්,කන්දකුලිය අතුරු මාවතක දී ඊයේ (28 ) අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.පොලිසියට ලද තොරතුරකට අනුව නවීන තාක්ෂණය ද භාවිතා කරමින් මේ වැටලීම කළ බැව්,කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති වසන්ත සිරිලාල් එදිරිසිංහ මහතා පවසයි.

ඉන්දියන් බීඩී කොළ සහිත උර 61ක් සහ මුහුදු කූඩැල්ලන් සහිත උර හයක් අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.ඉන්දියන් බීඩී කොළ කිලෝ ග්‍රෑම් 1,830ක් සහ හක්බෙල්ලන් කිලෝ ග්‍රෑම් 180කට ආසන්න ප්‍රමාණයක් මේ උරවල අසුරා තිබිණි.

සැකකාර රියැදුරු පුත්තලම පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර සහායකයා කල්පිටිය ජනසවිපුර පදිංචි 27 හැවිරිදි අයෙකි. තීරු බදු රහිතව නීති විරෝධීව මුහුදු මගින් මෙරටට රැගෙන ඒම,වරායක් නොවන ස්ථානයකින් භාණ්ඩ ගොඩබෑම ආදී චෝදනා යටතේ සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරිලාල් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන(60908) උපුල්,(41191) නිමල්,(59312) බණ්ඩාර,පොලිස් රියැදුරු (80413) වන්නිනායක නිලධාරීන් විසින් මේ වැටලීම සිදු කර ඇත.කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කල්පිටිය සමූහ-කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT