Home » සිංහල භාෂාව යළි කුස්සියට ද?

සිංහල භාෂාව යළි කුස්සියට ද?

by sachintha
April 18, 2024 3:07 am 0 comment

ප්‍රංශය ඉතාලිය ජර්මනිය වැනි යුරෝපීය රටවල් පවා තම අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදාගන්නේ මවු භාෂාවයි

ස්වභාෂා අධ්‍යාපනයේ මුල් අදියරේදී ඊට එරෙහිව බොහෝ ගල් මුල් ආවා

ඉංගිරිසි භාවිත කිරීමෙන් පමණක් නිර්මාණශීලි මිනිසකු බිහි නොවේ. චින්තනයේ හා නිර්මාණශීලිත්වයේ පදනම මවු බසයි

පාසල් අධ්‍යාපනය ලබාදීමේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරවිය යුතු බවට වන යෝජනාව යළිත් වටයක් කරළියට පැමිණෙමින් ඇත. මෙම යෝජනාව හා ඊට පාදක කර ගන්නා තර්කනය කාලයක් තිස්සේ පැවැත එන්නක් නමුදු මේ වටයේ එහි ස්වභාවය තීව්‍ර වන්නේ එය දේශපාලනීකරණය වන බවක් ද පෙනෙන්ට ඇති බැවිනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන ප්‍රතිපත්ති තීරකයන් සහ අදාළ ක්ෂේත්‍රයේ දේශපාලකයන් ජාතික අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයට හැරවිය යුතු බවට යෝජනා කර ඇතැයි පැවසෙන අතර පළමු ශ්‍රේණියේ පටන් ඉංගිරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම තම ප්‍රතිපත්තිය බව විපක්ෂ නායකතුමා ද පසුගියදා පාසල් වැඩසටහනකදී ප්‍රකාශ කර ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා ජන සමාජය එහි ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක පැවතීම තුළ මෙම ප්‍රස්තුතයට මූලෝපායික වටිනාකමක් ලැබෙන බව ද ඉන් ගම්‍ය වෙයි.

පාසල් අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසියට හැරවිය යුතු බවට ඉදිරිපත් කෙරෙන මතය පසුපස ඇති ප්‍රධානතම තර්කය බව පෙනී යන්නේ ස්වභාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන්නන්ගේ ඉංගිරිසි දැනුම වර්ධනය නොවන බවක් සහ ඒ අනුව උසස් අධ්‍යාපන තරගයේදී සහ ඉන් පසුව රැකියා වෙ‍ෙළඳ පොළේදී කොන්වීමට සිදු වන බවක් සමාජය තුළ ස්ථාපනය වෙමින් පැවැතීමයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක්‍රමයෙන් ඉංගිරිසි මාධ්‍යයට සීමා කෙරෙමින් පැවතීම, නීති විද්‍යාල අධ්‍යාපන මාධ්‍යය ද ඉංගිරිසියට හැරීයාම සහ රජයේ පරිපාලනමය කටයුතු මෙන්ම වෙළෙඳ පොළේ වාණිජමය කටයුතු ද වැඩි වැඩියෙන් ඉංගිරිසි භාෂාව භාවිතයෙන් සිදු කිරීම වැනි ප්‍රවණතාවයන් තුළ මෙම ආකල්පය වඩාත් ස්ථාවර වෙමින් පවතින බවක් ද පෙනේ.

අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරවීමට යෝජනා කෙරෙන්නේ සිසු දරු දැරියන්ගේ ඉංගිරිසි ව්‍යවහාර හැකියාව දියුණු කිරීම සඳහා බව පැවසෙයි. අපගේ අනාගත පරපුරේ ඉංගිරිසි භාෂා ව්‍යවහාර හැකියාව දියුණු කිරීම ප්‍රයෝජනවත් බව සත්‍යයකි. ඒ පිළිබඳව විවාදයක් නැත. ඉංගිරිසියට අමතරව හින්දි, ප්‍රංශ, ජපන්, ජර්මන්, චීන වැනි විදේශ භාෂා එකකින් හෝ කීපයකින් පමණක් නොව විශේෂ වශයෙන් දෙමළ දරුවන්ට සිංහලෙන් සහ සිංහල දරුවන්ට දෙමළෙන් වැඩ කිරීමේ හැකියාව අනාගත ලෝකයේ සාර්ථකත්වය ළඟා කර ගත හැකි සැබෑ ස්වදේශික පුරවැසියන් බිහිකිරීම උදෙසා අත්‍යවශ්‍ය වූ ඉතා වැදගත් මෙවලමකි. එහෙත් ඒ සඳහා කළ යුත්තේ එවැනි භාෂා වැහැරීමේ දැනුම හා හැකියාව නිර්මාණශීලීව ඉගැන්වීම විනා අධ්‍යාපන විෂයයන් ඒ භාෂාවලින් ඉගැන්වීම නොවේ. ලෝකයේ සෑම රටක්ම පාහේ තම ජාතික අධ්‍යාපනය ලබා දෙන්නේ මවු බසිනි. ගෝලීය වාණිජ තරගකාරීත්වයේ ඉදිරියෙන්ම සිටින චීනය, ජපානය, කොරියාව වැනි රටවල් මෙන්ම ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වැනි යුරෝපීය රටවල් පවා තම අධ්‍යාපන මාධ්‍යය ලෙස යොදාගන්නේ ඉංගිරිසි නොව තම මවු භාෂාය. එහෙත් තම සිසු දරුවන්ට ඉංගිරිසි දැනුම හා ව්‍යවහාර හැකියාව ලබාදීමට මේ කිසිදු රටක ජාතික අධ්‍යාපන භාෂා මාධ්‍යය ස්වභාෂාව වීම බාධාවක් වී නැත. ස්වභාෂාවෙන් විෂයය අධ්‍යාපනය ලබමින්ම විදේශ භාෂා ඇතුළු භාෂා හතරක පහක ප්‍රවීණත්වය ලැබීමට ඒ රටවල – විශේෂයෙන් යුරෝපා රටවල – තරුණ පරපුර සමත් වී ඇත. ඉංගිරිසි ඉගැන්වීම හා ඉංගිරිසියෙන් විෂය ඉගැන්වීම යනු පැහැදිලිවම වෙනස් වූ සංසිද්ධීන් දෙකක් බව ඒ රටවල් තේරුම් ගෙන ඇත. අපේ සිසු සිසුවියනට ඉංගිරිසි භාෂා ප්‍රවීණත්වය ලබාදීමේ අරමුණ හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනයේ විෂයය පාඨමාලා ස්වභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම බාධාවක් ලෙස හඳුන්වාදීම හුදු ප්‍රලාපයක් පමණක් බව ඒ අනුව පැහැදිලි විය යුතු ය.

ඉංගිරිසිය උසස් බවට සහ ඒ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූවන් ඉහළ මට්ටමේ ප්‍රබුද්ධයන් බවට වන වැඩවසම් සහ වහල් මානසිකත්වය අප රටේ මුල් බැසගෙන තිබුණේ අධිරාජ්‍ය ගැති යටත්විජිත යුගයේදීය. ඒ කාලයේ උසස් යැයි සලකනු ලැබූ පාසල් සියල්ල ඉංගිරිසි මාධ්‍යයෙන් වූ අතර එවැනි පාසල්වල සිංහලෙන් කතා කිරීම දඩ කෑමට පවා ලක් වුණු වරදක් වූ බව ද අපි අසා ඇත්තෙමු.

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබන වරප්‍රසාද ලත් පන්තියේ නාගරික දරුවන්ට පමණක් විවෘතව තිබූ සමාජයේ ඉදිරියට යාම සඳහා වූ දැනුම ලබාගැනීමේ අවස්ථා රටේ සැමට උදා කර දීම ජාතික ස්වාධීනත්ව හා ස්වෛරීත්ව ව්‍යාපාරයේ ප්‍රමුඛ අරමුණක් විය. ජාතික නිදහස් චින්තකයන් බිහිවීමේ ඉඩකඩ බටහිර රටාවේ ඉංගිරිසි මාධ්‍ය මිෂනාරී අධ්‍යාපනය ඔස්සේ අහුරනු ලැබ තිබූ එම හිර කූඩුව බිඳ දැමීමේ මූලික අඩිතාලම දමන ලද්දේ පාණදුරාවාදයෙනි. අධිරාජ්‍ය ගැති ඒ අධ්‍යාපන රටාව වෙනුවට ජාතික ස්වෛරීත්වය ඉලක්ක කරගත් අපේම වූ අධ්‍යාපන රාමුවක් ගොඩනැඟීම සඳහා ඒ ජයග්‍රහණයෙන් ලද පන්නරය අනුව හික්කඩුවේ සිරි සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි ප්‍රවීණ දේශ හිතෛෂීන් සහ එම දැක්මෙන් ප්‍රබෝධවත් වූ බව පෙනෙන අනගාරික ධර්මපාල තුමා වැනි දේශප්‍රේමීන් ප්‍රබල ප්‍රයත්නයක් දරා ඇති බව පෙනෙන්නට ඇත. එහෙත්, බෞද්ධයන් යැයි තමන්ව හඳුන්වාගත් බටහිර චින්තකයන්ගේ බලපෑමෙන් එය පළමුකොට පීලි පැන්න බවට ඉදිරිපත් කෙරෙන ජාතික චින්තන මතය බැහැර කළ නොහැක්කේ ඉන් අනතුරුව උද්ගත වුණු ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙනි.

කෙසේ වුව ද අධ්‍යාපනයේ විෂමතා ඉවත්කිරීම උදෙසා මෙන්ම ජාතික ස්වෛරීත්ව දැක්මකින් යුත් උගත් ස්වදේශික පරපුරක් බිහිකිරීම උදෙසා අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ ජාතික නායකයන් විසින් දැරූ ප්‍රයත්නයන් නතර වූයේ නැත. වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස වැනි ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීමෙන් වඩාත් හැඩගැසුණු ඒ ජාතික ව්‍යාපාරයේ එක් මූලික අංගයක් වූයේ ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමයි. කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් මෙන්ම අද කොතරම් අවතක්සේරු කෙරුණ ද බණ්ඩාරනායක භාෂා පිළිවෙතෙන් ද මල් පල ගැන්වුණේ ඒ ප්‍රයත්නයයි. මේ ලියුම්කරු ද ඇතුළු බොහෝදෙනා අධ්‍යාපන හිණිමඟේ ඉහළට නැංගේ ස්වභාෂාවෙන් ලබාදෙන ලද ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය.

විද්‍යා පීඨ ශිෂ්‍යයකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී සහභාගී වූ ප්‍රථම දේශනය මගේ මතකයෙන් කිසිදා ඈත් නොවේ. එය ගණිතය පිළිබඳ දේශනයකි. ගණිතය පිළිබඳ මහාචාර්ය ඈපාසිංහයෝ එම දේශනය පැවැත්වූහ. ස්වභාවයෙන්ම සංකීර්ණ විෂයයක් ලෙස පිළිගැනුණු ගණිතය පිළිබඳ පළමු දේශනයට මා සහභාගී වූයේ යම් චකිතයක් ද සිත තුළ තිබියදීය. මහාචාර්ය ඈපාසිංහයන් සිය දේශනය ඇරඹුවේ සිංහල භාෂාවෙන් වීම එතෙක් ඉංගිරිසි මාධ්‍යයෙන් කිසිදා විෂය අධ්‍යාපනයක් ලබා නොතිබූ මට ඉමහත් අස්වැසිල්ලක් විය. තම අරමුණ සිසුනට හොඳින් ගණිතය ඉගැන්වීම බවත්, විෂය වඩාත්ම හොඳින් අවබෝධ කර ගත හැක්කේ සිසුන්ගේ මවු බසින් බවත්, අතිමහත් බහුතර සිසු පිරිසකගේ මවු බස සිංහල වූ බැවින් තම දේශනවල පළමු පැය සිංහල මාධ්‍යයෙන් පවත්වන බවත් මහාචාර්යවරයා පවසන විට හිතේ තිබූ බර ඉබේම සැහැල්ලු වී යනු දැනුණු අයුරු මට අද මෙන් මතකය. සරසවි සිසුවකු ලෙස අප අධ්‍යාපනය හැදෑරීම ඇරඹුවේ එලෙසිනි. විද්‍යා විෂයයන්හි ගැඹුරු තැන් අපි මවු බසින් ස්පර්ශ කළෙමු. ඉහළ ප්‍රතිඑල ලැබුවෙමු.

අපි නිදහස් අධ්‍යාපනයේ මෙන්ම ස්වභාෂා අධ්‍යාපනයේ ද උපරිම ප්‍රතිඑල භුක්ති වින්දෙමු. මවු බස නොවන ඉංගිරිසියෙන් උසස් අධ්‍යාපනය ලැබීමට සිදු වී තිබුණේ නම් උපාධිය කෙසේ වෙතත් උසස් පන්ති සාමාර්ථ්‍යය නම් මට අහිමි වීමට බොහෝදුරට ඉඩ තිබූ බව මගේ හැඟීමයි. එසේ වූයේ නම් වර්තමානයේ එම සරසවියේම ඇදුරකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුකම් හා පරිචය ලබාගැනීමට මට නොහැකි වීමට ඉඩ තිබිණි. නිදහස් අධ්‍යාපනයට මෙන්ම ස්වභාෂා අධ්‍යාපනයටත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සියෙන් කැපවුණු පුරෝගාමී දේශප්‍රේමීන්ට සහ ආචාර්ය මහාචාර්යවරුන්ටත් මා සහ මගේ පරපුරේ ඒ හා සමාන අත්දැකීම් ඇති විද්‍යාර්ථීන් ණය ගැති වන්නේ ඒ නිසයි.

සමාජමය හා ජාතිකමය ප්‍රතිලාභ එසේ වුව ද ස්වභාෂා අධ්‍යාපනයේ මුල් අදියරේදී පටන් ඊට එරෙහිව බොහෝ ගල් මුල් එල්ල විය. ආරම්භක යුගයේදී මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගය වූයේ විද්‍යා හා තාක්ෂණ විෂයයන් ඉංගිරිසි හැර වෙනත් බසකින් ඉගැන්වීමට නොහැකි බවට හා ඊට අවශ්‍ය පතපොත ස්වභාෂාවලින් පළ කෙරී නොමැති බවට පැවැති මුල්බැසගත් මතයයි. පී.පී.ජී.එල්. සිරිවර්ධන, පී. ඩබ්. ඈපාසිංහ, ජේ.කේ.පී. ආරියරත්න, සී. දහනායක, ජී.පී. වන්නිගම, ඔස්මන් ජයරත්න, වී.කේ. සමරනායක, නලින්ද සිල්වා වැනි මහැදුරන් ඇතුළු එම පරම්පරාවේ දිසාපාමොක්වරු එම හණමිටිය බිම තැබුවා පමණක් නොව ඊට ගිනි ද තැබූහ. ඒ මහාචාර්යවරු එතෙක් නොවූ විරූ පරිදි විද්‍යා විෂයයන් සිංහලෙන් ඉගැන්වීමේ පෙරමුණ ගත්හ. විද්‍යා පොත පත සිංහලෙන් ලියා පළ කළ හ. විදෙස් භාෂාවලින් ලියා තිබූ දෑ සිංහලට පරිවර්තනය කළහ. සුවහසක් සිංහල දුවා දරුවනට විද්‍යා විෂය ක්ෂේත්‍රයේ දොර කවුළු විවර වූයේ ඒ මාහැඟි පුණ්‍යකර්මය නිසාය.

වෙනත් විෂයයන් පිළිබඳව වුවද තත්වය එයම විය. බමුණු කුලයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන වරප්‍රසාද ඈත පිටිසර ගම්දනව්වල අහිංසක දුවා දරුවන් සඳහා විවර කෙරුණේ ඒ අයුරිනි. ස්වභාෂා මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබමින් දේශීය සමාජයේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ පවා ඉහළම ස්ථරයන් කරා ගමන් කිරීමට ඒ ඔස්සේ ඔවුනට ඉඩ හසර සැලසිණි.

අපගේ විශ්වවිද්‍යාලවල ද ඉංගිරිසි ප්‍රවීණතා පාඨමාලා පැවැත්වෙයි. ඒ තරම් දිගු කාලයක් හා උත්සාහයක් යොදන නමුත්, අපගේ වත්මන් තරුණ පරපුරේ ඉංගිරිසි හැකියාව සතුටුදායක නොමැති නම් ඉන් පිළිඹිඹු වන්නේ ඉංගිරිසි ඉගැන්වීමේ පවත්නා අසාර්ථකත්වය හා අකාර්යක්ෂමතාව නොවේ ද? ආචාර්ය උපාධි අධ්‍යාපනය සඳහා ප්‍රංශයට යන විට වචන කීපයක් උච්චාරණය කිරීමට හැර ප්‍රංශ භාෂාව පිළිබඳව කිසිදු හැකියාවක් නොතිබුණු මට වසරක භාෂා ඉගැන්වීමකින් පමණක් මගේ විෂයය අධ්‍යාපනය සාර්ථකව හැදෑරීමට ප්‍රමාණවත් මට්ටමට ප්‍රංශ භාෂා දැනුමක් ලබාදීමට එම රටේ භාෂා අධ්‍යාපනඥයෝ සමත් වූහ. ඔවුන් එම හපන්කම කළේ සංගීතය, නාට්‍යය, සාහිත්‍යය, විනෝදාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ සටහන් වැනි භාෂාවේ රස වින්දනාත්මක කොටස් තෝරාගෙන ප්‍රංශ භාෂාවෙන් ඇසීමේ හා කියවීමේ රුචිය වැඩි දියුණු කිරීම හරහා එම භාෂාවේ හැඩතල හඳුන්වා දීමෙනි. වියරණ පොත ඉදිරියට ආවේ වැඩිදුර ඉගෙනීමට හා කියවීමට ඇල්මක් ජනනය වීමෙන් අනතුරුවය. වසරක් තුළ ප්‍රංශ භාෂා ව්‍යවහාරාත්මක දැනුමක් ලබා දීමට සමත් වූයේ ගණිතය, විද්‍යාව හෝ ආර්ථික න්‍යාය ප්‍රංශ භාෂාවෙන් ගිල්ලවීමට තැත් කිරීමෙන් නොවේ. ස්වභාෂා මාධ්‍යයෙන් විෂයය ඉගැන්වීම නිසා ඉංගිරිසි දැනුම වර්ධනය කිරීමට නොහැකි බව පැවසෙන්නේ නම් එය නටන්නට බැරි වී ඇත්තේ පොළොව ඇද නිසා යැයි කීමට නොදෙවෙනි විහිළුවකි. අප රටේ ඉංගිරිසි අධ්‍යාපනඥයන් හා අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයන් කැඩපතක් ඉදිරියට ගොස් ඉංගිරිසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයන්හි ඇති අඩුපාඩුකම් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුය.

අධ්‍යාපනයේ අරමුණ උසස් රැකියාවක් ලබා ගැනීම පමණක් නොවේ. ක්ෂිතිජයට ඔබ්බෙන් දැකිය හැකි නිර්මාණශීලී සහ නොසැලෙන ස්වදේශික චින්තනයක් සහිත පරපුරක් බිහිකිරීමත් අධ්‍යාපනයේ අපේක්ෂිත ප්‍රතිලාභ අතර වෙයි. ඒ සඳහා කළ යුත්තේ දැනුම හා මිනිස් සම්පත රැකියා වෙ‍ෙළඳ පොළට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස සලකා නිෂ්පාදනය කිරීමකට ඔබ්බෙන් ගොස් චින්තකයන් හා නව නිර්මාණකරුවන් බිහිකිරීමයි. ඉංගිරිසි වැහැරීමට හැකි වීමෙන් පමණක් නිර්මාණශීලී සහ කුසලතාවන්ගෙන් යුතු මිනිසකු බිහි නොවේ. චින්තනයේ හා නිර්මාණශීලීත්වයේ පදනම මවු බසයි. සිසුන්ගේ සහජ කුසලතා පහසුවෙන් ඉස්මතු වන්නේ සහ ඔප්නැංවෙන්නේ සිය මවු බසින් අධ්‍යාපනය ලැබීමේදීය. අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වන්නේ ද විෂයය කරුණු වඩාත් හොඳින් ග්‍රහණය කිරීමට හා විශ්ලේෂණාත්මකව හැදෑරීමට සිසුනට හැකි වන්නේ මවු බසින් බවයි. නිර්මාණශීලීත්වය මුවහත් කිරීම උදෙසා ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇත. තමන්ගේ මවු බසින් උගනිමින් ඒ කුසලතාවන් මුවහත් කරගන්නා අතර, ඉංගිරිසි පමණක් නොව වෙනත් දෙවැනි – තුන්වැනි භාෂා වැහැරීමේ ප්‍රාගුණ්‍යය ද ලබා ගැනීමට සිසුන් පෙලඹවිය යුත්තේ සහ ඊට පහසුකම් සැපයිය යුත්තේ ඒ නිසා ය. අලුත් අලුත් දෑ තනන ජාතියක් ගොඩනැඟිය හැක්කේ එසේ කළ හොත් පමණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය

ලලිතසිරි ගුණරුවන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT