Home » ඇඳක පිලිස්සී මියගිය පියාගේ මරණයට පුතයි අම්මයි සැකපිට

ඇඳක පිලිස්සී මියගිය පියාගේ මරණයට පුතයි අම්මයි සැකපිට

by sachintha
April 18, 2024 1:00 am 0 comment

උඩවලව පොලිස් වසමේ කොළඹගෙආර කෝමාරික කලුමුකලාන ප්‍රදේශයේ නි‍ෙවසක් තුළ ඇඳක් මත පිලිස්සුම් තුවාල ලබා මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙරේදා (16) සොයා ගත් බවත්, එම මරණයට සැකපිට මියගිය අයගේ පුතු හා මියගිය අයගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බවත් උඩවලව පොලිසිය පැවසීය. උඩවලව, කොළඹගෙආර, කලුමුකලාන පදිංචි පතිරණගේ අජිත් විජේරත්න නොහොත් පොඩි අප්පු නැමැති හතළිස්අට හැවිරිදි එක්දරු පියෙකු එසේ මියගොස් ඇත.

මියගිය තැනැත්තා පදිංචි නිවෙස ඉදිරිපිට මියගිය තැනැත්තාගේ බිරිය විසින් වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත් එම වෙළෙඳසලට මියගිය අය එදින හිමිදිරියේ ඇතුළුව වෙළෙඳ භාණ්ඩවලට හානි සිදුකර ඇති බවට මියගිය අයගේ බිරිය විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිසිය පවසයි.

ඉන් අනතුරුව මියගිය පුද්ගලයා සිය නි‍ෙවසේ කාමරයක් තුළට ගොස් ශරීරයට පෙට්රල් හලාගෙන ගිනි තියාගෙන ඇති බවත් පුත්‍රයා හා තමන් එක්ව ජලය දමා ගින්න නිවා දමා ඇතත් ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් ඇති බවට එම ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් බව පොලිසිය පවසයි.

මියගිය තැනැත්තාගේ මළ සිරුර ඇඳෙහි උඩු බැලි අතට වැටී තිබුණු අතර ඇඳෙහි මේට්ටය හා කොට්ටය පිලිස්සී තිබුණි. එම කාමරයට ගින්නෙන් හානියක් සිදුවී නොතිබුණ අතර එම කාමරයෙහි බිම ලයිටරයක් භුමිතෙල් වහනය වන භාජනයක් තිබුණු බවත් එම මරණය සැකසහිත බව පොලිසිය සඳහන් කරයි. ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර එදින පස්වරුවේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් දිලුම් යූ ප්‍රනාන්දු මහතා විසින් එහි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මියගිය අයගේ සහෝදරියක් පවසා ඇත්තේ එම මරණය සැකසහිත මරණයක් බවයි. ඒ පිළිබඳ ප්‍රකාශයක් ඉදිරි දිනක දී උඩවලව පොලිසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එම තැනැත්තියට නියෝග කර ඇත. මියගිය පුද්ගලයාගේ මෘත දේහය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර එහි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කර ඇත.

ඒ අනුව එම මෘත දේහය පොලිසිය විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර උඩවලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදු කරති.

ඇඹිලිපිටිය කසුන් දර්ශන සමරවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT