සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) ප.ව. 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය. මේ ඒ මහතා පිළිබඳව ලියැවුණු ලිපියකි.
දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන බුදු දහමේ එන සතර සංග්‍රහ වස්තු ධර්ම කොට්ඨාසය මුල් කරගෙන “ගමින් ගමට ගොසින් සැමට සේවය කරමු” යන තේමාව ඔස්සේ අප රට පුරා ඇති සියලු ගම් දනව් සිසාරා විහිදී යන සමාජ මෙහෙවරක යෙදෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා දශක හයකට අධික කාලයක් සිදුකරගෙන ගිය සමාජ සේවයට හා එහි නායකත්වයට සමු දෙමින් සිය ජීවිතයේ 92 වැනි වියේදී දැයෙන් සමුගත්තේ පිරවිය නොහැකි හිඩැසක් අප සමාජය හමුවේ ඉතිරි කරමිනි.
ගාල්ල උණවටුන ගමේදී උපත ලබා දීප්තිමත් ඉතිහාසයක් ඇති බොනවිස්ටා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් හිමි කරගත් ඒ.ටී. ආරියරත්න මහතා කුඩා අවධියේ සිට තම නිවස අසල පිහිටි ආරාමයේ දැන උගත් හිමිවරු ඇසුරු කරමින් මනා දහම් අධ්‍යාපනයක් ලබා ගත්තේ විහාරස්ථ දහම් පාසලේ කීර්තිමත් ශිෂ්‍යයෙකු ලෙසිනි. මේ අවධියේ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ ආරියරත්න මහතා හය වන ශ්‍රේණිය සඳහා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද බොදුනු මහා විද්‍යාලයටය.
මෙම පාසලෙන් මනා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාගත් මෙතුමා විදුහලෙන් නිකුත් කළ ‘ප්ලැනට්’ ඉංග්‍රීසි සඟරාවේ සංස්කාරක පදවියට ද පත්වූයේ ඔහුගේ දක්ෂතාවයන් නිසාය.1952 වසරේදී සරසවි පිවිසුම් පෙළ විභාගයට පෙනී සිටි ඔහුට එය නිමා කර ගැනීමට නොහැකි වූයේ මෙතුමාට වැලඳෙන රෝගී තත්ත්වයක් නිසාය. තමාට ලැබී ඇති අධ්‍යාපන සුදුසුකම් මත රැකියාවක් ලබා ගැනීමට වෙහෙසුන ආරියරත්න මහතාට ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලැබිණි. ඒ අනුව අහංගම සාරිපුත්ත විද්‍යාලයේ උප ගුරු තනතුරකට පත්ව එම පාසලේ ළමුන් හට ඉංග්‍රීසි භාෂාව උගැන්වීම සිදු කරන්නට විය.
මේ යුගයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳුණ ආරියරත්න මහතා කොමියුනිස්ට්වාදය ගැන මනා දැනුමක් ලැබූහ. 1953 වසරේ පැවති හර්තාලයට ද තරුණ කාලයේ උදව් කළ ආරියරත්න මහතා පසුව කොමියුනිස්ට් දේශපාලනයෙන් සදහටම සමුගත්තේ මාක්ස්වාදයෙන් හෝ කොමියුනිස්ට් ධර්මයෙන් ලංකාව කිසි විටෙක සංවර්ධනය කළ නොහැකි රටක් බව වටහාගෙනය.මෙම දේශපාලනය තුළ තිබෙන වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, අන් අය තළා පෙළා කතා කිරීම ආරියරත්න මහතා සිදු නොකළ කොමියුනිස්ට් දේශපාලනයේ ප්‍රධාන කරුණුය. අහංගම සාරිපුත්ත ගුරු සේවයට සමුදී තමා කුඩා කල උගත් ගාල්ලේ බොනවිස්ටා විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය භාර ගත් ආරියරත්න මහතා ඒ අතරතුර මහරගම ගුරු අභ්‍යාස විදුහලට ඇතුළත්ව විද්‍යා ගුරුවරයෙකු ලෙස පුහුණුව ලබා 1958 වසරේ ජනවාරි 01 වැනි දින කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවයට වාර්තා කළේ 26 වන වියේ පසුවන තරුණයෙකු වශයෙනි. මෙකල නාලන්දා විද්‍යාලයේ පැවැති සුවිශේෂ ශිෂ්‍ය සහ ගුරු සංවිධානයක් විය. එය නාලන්දා විද්‍යාලීය සමාජ සේවා සංවිධානයයි. අමරපුර මහා නිකායේ මහනායක මා හිමියන් ලෙස ක්‍රියාකළ හීනටියන ධම්මාලෝක මා හිමියන් මෙය අරඹා තිබුණේ උන්වහන්සේ මෙම විදුහලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරන සමයේදීය. මෙම සංගමයේ උප සභාපති පදවියක් ආරියරත්න මහතාට පිරිනැමීමට විදුහල්පතිව වැඩ කළ එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා කටයුතු කළේය. මේ අනුව මෙම සංගමය සිදුකළ විශාලතම මෙහෙවර වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ‘කනතොළුව’ නම් සමාජ විෂ්මතාවට ලක්වූ ගම්මානයක ජීවත් වූ ජනතාවට පිහිට වීම සඳහා සිදුකළ මහා ශ්‍රමදාන ව්‍යාපාරයයි. එකල ලංකාව පාලනය කළ රජයේත් පොදු ජනතාවගේත් ප්‍රසාදයට පත්ව මෙම ශ්‍රමදාන කඳවුරට රජයේ විවිධ නිල තනතුරු දැරූ නිලධාරීන් වෙතින් විශාල සහයෝගයක් ලැබිණි. දිනෙන් දින විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වන විරෝධතා බාධකයන් ද සුළුපටු නොවීය. මෙම තත්ත්වය හමුවේ 1960 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සර්වෝදය ශ්‍රමදාන සංගමය ලෙස ජනතාව වෙත ගෙන ආවේ ආරියරත්න මහතාගේ දැඩි උත්සාහයෙනි.
මෙලෙස දිනෙන් දින නව සංකල්ප මතින් ගොඩනැඟෙන සර්වෝදය ව්‍යාපාරයේ සේවය අගය කළ ජාත්‍යන්තරය 1969 වසරේදී ප්‍රජා නායකත්වය පිළිබඳව පිලිපීන රජය මඟින් පිරිනමන රැමන් මැග්සයිසයි. ජාත්‍යන්තර සම්මානය ආරියරත්න මහතාට පිරනැමීය. සම්මානය සමඟ ඩොලර් දසදහසක පරිත්‍යාගයක්ද ලැබිණි. මෙම මුදල් සහිත චෙක්පත රැගෙන ලංකාවට පැමිණි ආරියරත්න මහතා එවකට අප රටේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක හමුවී අරලියගහ මන්දිරයේ දී එම චෙක්පත එතුමාට පිළිගැන්වූයේ මෙම මුදල අප රටේ නව සමාජ විප්ලවයක් ඇරඹීමට වියදම් කරන ලෙස ඉල්ලා සිටිමිනි. මෙම චෙක්පත අතට ගත් අගමැති ඩඩ්ලි සේනානායක මහතා එය ආපසු සර්වෝදය නායකවරයාට පිළිගැන්වූයේ එය දැනට සිදුකරගෙන යන්නේ ඔබගේ සංගමයයි. එබැවින් එම මුදල ඔබගේ සංගමයේ දියුණුවට යොදා ගන්නා ලෙස ඉල්ලමිනි. මොරටුවේ විසූ ධනවතෙකු විසින් පරිත්‍යාග කළ ‘මෙත්මැඳුර’ නම් නිවෙස සර්වෝදයේ මූලස්ථානය ලෙස භාවිතයට ගත් අතර, එහි සිට ගොඩනැඟූ මොරටුව රවතාවත්ත පාරේ නව මූලස්ථානය ‘දම්සක් මන්දිරය’ ලෙස නම් කළේ “ධර්මචක්රය”ක ආකාරයෙන් ලෝකයේ ගොඩනැඟුණ ප්‍රථම ගොඩනැඟිලි සංකීර්ණය ලෙසය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විවෘත කළ මෙම නව සර්වෝදය මූලස්ථානය සර්වෝදය ජාත්‍යන්තර මූලස්ථානයද විය.
ලංකාව පුරා 70 දශකය වන විට සර්වෝදය ව්‍යාපාරය ව්‍යාප්ත වූයේ එකල තිබූ සිරිමා බණ්ඩාරනායක රජයේ මහා බලවතා වූ අධිකරණ ඇමැති ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ දැඩි විරුද්ධකම් මතය. සර්වෝදය සමඟ කිසිම සමාජ කටයුත්තක නොයෙදෙන ලෙස දන්වා චක්‍රලේඛ එම රාජ්‍ය ආයතනවලට යැවීමට තරම් ඔහු සාහසික විය. ඔහුගේ මෙම ක්‍රියාදාමයන් විටින් විට සිරිමා මැතිනිය විසින් මෙල්ල කිරිම අමතක නොවන සිද්ධියකි. ලංකාවේ සෑම උප දිසාපති කොට්ඨාසයකම සර්වෝදය ප්‍රාදේශීය මධ්‍යස්ථාන ගොඩනැඟුණ අතර, වැටුප් ලබන සේවකයින් එහි සේවයේ යෙදුණි. සෑම දිස්ත්රක්කයකටම දිස්ත්‍රක් මධ්‍යස්ථාන ඇති කළ අතර, ගම්වල ග්‍රාමෝදය මධ්‍යස්ථාන පිහිටුවිය. ගම්වල වෙසෙන සිඟිති දරුවන්ට සිඟිති හමුව ලෙස පෙර පාසලත්, ළමුන් උදෙසා සිඟිති හවුල ලෙස ළමා සමාජයක්ද තරුණයින් වෙනුවෙන් යොවුන් හවුල්ද පිහිටුවනු ලැබීය. මව්වරු සංවිධානය කළ මව් හවුල්ද, ගොවියෝ සිටින ගම්වල ගොවි හවුල්ද, විශේෂ හැකියාවන් තිබෙන පිරිස් එකතු කර සවුදන් හවුල් ද ගම්වල ගොඩනැඟුණි. පූජ්‍යපාද හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ සංවිධානත්වයෙන් පිහිටුවූ සර්වෝදය භික්ෂු අංශය සහ පාතකඩ සර්වෝදය භික්ෂු පුහුණු කරන ආයතන මඟින් ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් ප්‍රජා සේවය සඳහා පුහුණුව ලබා ගම්වලට වැඩම කළහ.
මේ අනුව සර්වෝදය සමඟ ලංකාවේ ගම් අටදහසක් එක විට සබඳතා පවත්වා ගනිමින් ප්‍රජා සේවයට එකතු විය. වර්තමානයේ ගම්වල කොන්ක්‍රීට් දමා සකසා ඇති බොහෝමයක් පාරවල් සර්වෝදය ශ්‍රමදාන කඳවුරුවලින් තැනූ ඒවාය.
සර්වෝදය මඟින් නිර්මාණය කළ ග්‍රාමෝද මණ්ඩල වැඩසටහන පසුව රාජ්‍ය සංවිධාන ව්‍යුහයට නවීකරණය කර භාරගත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සර්වෝදය වැඩවලට මුල් යුගයේ උදව් කළ ප්‍රධානතම රාජ්‍ය නායකයෙකි. රටට දැයට අවශ්‍ය තරුණ නායක නායිකාවන් ප්‍රජා නායකත්ව පුහුණු යටතේ දස දහස් ගණනක් පුහුණු කර මුදාහැරිය සර්වෝදය ව්‍යාපාරය ලංකාවේ සියලුම වාර්ගික ගැටුම්වලදී එම ගැටුම් නිවාලීමට මූලික විය. ඒ සඳහා ආරියරත්න මහතාට තිබුණේ හසළ දැනුමකි. එම දැනුම් සම්භාරය තිබූ ගත සිත අද නිසසලව ඇත. ‘සේවය කොතැනද අප එතැනය’ කියා සර්වෝදය සේවකයන්ට උගැන්වූ ආරියරත්න මහතා අප නිකරුණේ ගසක කොළයක් කඩා නොදැමීමට තරම් ‘අභිසෝවාදී’ වෙමු යැයි ලොවට කියා සිටියේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පු කරමිනි. ඒ ශ්‍රේෂ්ඨ නායකයා කළ දෙසුම් ලියූ පත පොත, ලිපි ලේඛන අප රටේ වත්මන් හා අනාගත පරපුරට හිමිවන අමිල දායාදයක් වනු ඇත. අප ඒ උතුම් මනුෂ්‍යරත්නය සදා සිහිපත් කරමු.
එක්සත් ජාතික පක්ෂ සභාපති,
පාර්ලිමේන්තු මන්ත්‍රී
හිටපු අමාත්‍ය
වජිර අබේවර්ධන