ආදරණීය කතාවක් ඕනෑකර තිබේ | දිනමිණ

ආදරණීය කතාවක් ඕනෑකර තිබේ

 සිංහල සිනමාවේ වයස දැන්, ඒ කියන්නෙ 2016 වෙන කොට අවුරුදු හැට නවයකුත් වෙලා. අවුරුදු හැට නවයක් වයසැති කලාවක් පිළිබඳ මොන තරම් ආඩම්බරයකින් ද කතා කළ යුත්තේ? අපිට එහෙම ආඩම්බරයකින්, අපේ සිනමාව ගැන කතා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ තමයි අපිට නිතර ඇහෙන්නේ. සිනමා කලාවෙ වගේම සිනමා කර්මාන්තයෙත් බිඳ වැටීම පටන් අරගෙන දැනට දශක තුනක් විතර වෙනව කියලයි මට හිතෙන්නෙ. අපේ සිනමාවෙ ස්වර්ණමය යුග ලෙස තවමත් අපි කතා කරන්නෙ හැත්තෑවෙ අසූවෙ දශක මතක සමඟ. මේ දශක තුළ තිරගත වූ චිත්‍රපට අපේ කලාත්මක සිනමාවෙ වැදගත් පිය සටහන් වගේම වාණිජමය සිනමාවෙ ජයග්‍රාහී අවස්ථාත් සලකුණු කරන බවයි අපේ කල්පනාව. හැත්තෑවෙ දශකයේ මැද දී, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඇරැඹීම හැත්තෑව දශකයෙ ආරම්භයේදී අපේ රට අත්විඳි පෙර නොදුටු ආකාරයේ දේශපාලන සංසිද්ධි, විශේෂයෙන් 71, තරුණ පිබිදීම , ඉන්පසු 77 වන තෙක් අපේ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර තුළ බිහි වූ, අපූරු නිර්මාණ අපේ සිහියට නැ‍ඟෙනවා. සිනමාව, සාහිත්‍යය, වේදිකා නාට්‍යය, සංගීතය, ජනමාධ්‍යය ආදී වූ ක්ෂේත්‍ර බොහොමයකම බිහි වූ නිර්මාණ මෙන්ම මේ වකවානුවේ ඉහත

ක්ෂේත්‍ර තුළ තම ප්‍රතිභාව අපූරුවට විශද කළ නව තරුණ පරම්පරාවක ආගමනයත් අපට දකින්න පුළුවන්. මේ යුගයේ කවියේ, කෙටිකතාවේ හා නවකතාවේ, ඊළඟට ගුවන් විදුලි ගීතයේ, ගුවන් විදුලි වැඩසටහන්හි වේදිකා නාට්‍ය හෝ මුද්‍රා නාට්‍ය තුළින් හැමූ නව සුවඳ අපට තවමත් මතකයට නඟන්න පුළුවන්. සම්මත රාමු, සාම්ප්‍රදායික, ආකෘතීන්, ජීවිතයට සමීප නොවන අත්දැකීම් වෙනුවට ජීවිතය දෙස පියවි ඇසින් බලන්නැයි කළ ඇරැයුම් සහිත නිර්මාණ ලෝකය 77 දේශපාලන පෙරළියත් සමඟ විවාද සම්පන්නව වුවත් ඉදිරියට ගිය බවයි හැ‍ඟෙන්නේ.

හැත්තෑව අසූව දශක සිනමාව දායාද කළ, සිනමානුරූපී, කලාත්මක චිත්‍රපට ‍මෙන්ම වාණිජමය වශයෙන් ජයග්‍රාහී වූ, ප්‍රේක්ෂක රසවින්දනයට නිගා නොකළ, අවරගණයේම චිත්‍රපට ‍නොවූ සිනමා සිත්තම් රැසක් පිළිබඳ මගේ මතකය අලුත් වේ. මේ චිත්‍රපට අධ්‍යක්ෂවරු අතර ප්‍රවීණයන් මෙන්ම තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවන්ද වන බව අපි

දනිමු. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ, නිධානය, අහසින් පොළොවට, දෑස නිසා, ගොළු හදවත, යුගාන්තය, කලියුගය, මහගම සේකරගේ තුං මං හංදිය, ටයිටස් තොටවත්තගේ හාරලක්ෂය, සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව, ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහේ, ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්, සුද්දිලාගේ කතාව , තුන්වැනි යාමය, වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ, පළගැටියෝ, දඩයම, ඩී. බි. නිහාල්සිංහගේ වැලිකතර, සුනිල් ආරියරත්නගේ පොඩි මල්ලි, සිරිබෝ අයියා, සරුංගලේ, තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ, විරාගය, පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර, සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි, යහළු යෙහෙළි, විජය ධර්මශ්‍රීගේ දුහුළු මලක්, ආරාධනා හා තවත් චිත්‍රපට හැත්තෑව අසූව දශක තුළ බිහි වූ කලාත්මක සිනමාවේ සටහන්ය. මේ චිත්‍රපට නාමාවලියට සමගාමීව, ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට කැන්දූ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර එච්. ඩී. ප්‍රේමරත්න හා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා වැන්නෝද වූහ. ප්‍රේමරත්න ගේ චිත්‍රපට අතර පරිත්‍යාග, ආදර හසුන, දෙවනි ගමන, මංගල තෑග්ග, අපේක්ෂා, පාලම යට, සිකුරු ලියා වැනි චිත්‍රපට ද කේ. ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපට අතර ළසඳා, දුලීකා, වාසනා අදී චිත්‍රපට ප්‍රේක්ෂක රසවින්දනය නොසුන් කරන අතරෙහිම සිනමා කර්මාන්තය සමබරව පවත්වා ගැනීමට ද උපකාරී වූ බව කිව යුතුය. මේ හැරෙන්නට මේ දෙඅන්තයටම හසු නොවූ වාණිජමය වශයෙන් ද සාර්ථක වූ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු පිළිබඳවද සඳහන් කළ යුතු යැයි සිතමි. ජෝ දේව් ආනන්ද, නීල් රූපසිංහ, මිල්ටන් ජයවර්ධන, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, එම්. එස්. ආනන්දන් ඒ අතර වේ. ඔවුනගේ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා තබා සිනමා කර්මාන්තයට දායක වී ඇත.

ඉහත පසුබිම මේ ‍‍මොහොතේ සිහිපත් කරනු ලැබූයේ මෑතකදී නරඹන්නට ලැබුණු සිංහල චිත්‍රපට කිහිපයක් පිළිබඳ මතක් වීමෙනි. සුනිල් ආරියරත්නගේ පත්තිනි, ධර්මසේන පතිරාජගේ සක්කාරං හා අශෝක හඳගමගේ අගේ ඇස අග මේ චිත්‍රපටයි. මේ චිත්‍රපට සඳහා පරස්පර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී ඇති බව දනිමු. එහෙත් ඉතාම මෑතකදී නැරැඹු ප්‍රියන්ත කොළඹගේ‍ ගේ ආදරණීය කතාවක් චිත්‍රපටය මගේ මතකයට රැගෙන ආවේ, හැත්තෑව අසූව දශකයේ සිංහල සිනමාවෙහි දක්නට ලැබුණු වාණිජමය වශයෙන් සාර්ථක වූ Block Buster ගණයේ චිත්‍රපටයි. ආදරණීය කතාවකට පාදක වී ඇත්තේ, 2013 දී පමණ තිරගත වූ බොලිවුඩ් සිනමාවේ චිත්‍රපටයක කතා පුවතකැයි කියැවේ. ශ්‍රද්ධා කපූර්, ෂාඩි රන්ද්ව හා ආදිත්‍ය රෝයි ආදීන් රඟපෑ එම චිත්‍රපටයෙන්, ආදරය, වෛරය, ඔවුන්ගේ ජීවිත තුළ වන ජනප්‍රිය බව හා පරාජය ආදී සංවේදනා මතු කෙරෙන චරිත කිහිපයක් හමුවේ. ආදරණීය කතාවක් හි චරිත හෝ කතා පුවත, සම්පුර්ණයෙන්ම , එම චිත්‍රපටයේ පිටපතක් යැයි පැවැසීමට නොහැකි වුවත්, එහි ඡායාවක් අපි දකිමු. ගීත රාශියක් ඇතුළත් ආදරණිය කතාවක් තුළ හමුවන චරිත ත්‍රිත්වයක් අතරේ ලියලන ත්‍රිකෝණ ප්‍රේමයක අවසානය අතීශය හැඟුම්බර භාවාත්මක (emotional) සිද්ධි දාමයකින් නිමැවීමට අධ්‍යක්ෂවරයා ගත් උත්සාහයක් විද්‍යාමාන වේ. ඇගේ ඇස අග වැනි චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂකයෙකුගේ බුද්ධි මණ්ඩලයෙහි කිසියම් ආකාරයක, සසල කිරීමක්, තැතිගැන්මක් ඇති කරවන්නා සේම ආදරණීය කතාවක් නරඹන ප්‍රේක්ෂක සිතක වරෙක චලනයක්, තවත් වරෙක ආදරය, වෛරය, පරිත්‍යාගය වැනි මානව සංවේදනා පිළිබඳ මනස අවදි කිරීමක්ද මගින් ප්‍රේක්ෂාගාරය රඳවා ගැනීමට, චිත්‍රපටය මුල සිට අග දක්වා කිසිඳු මොහොතක් දර්ශනයක් හෝ අත් නොහැර නැරැඹීමට හැකි නිර්මාණ කාර්යයක් බවට පත්කර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත්වේ. මේ වර්ගයේ චිත්‍රපට, වඩ වඩාත් අවශ්‍ය යුගයක අපි සිටින බව දනිමු. බොහෝ අවර ගණයේ ටෙලිනාට්‍ය නැරැඹීමෙන්ද, හාස්‍යය මතුකරමින් ප්‍රේක්ෂක පසුම්බියට විදින බහුතර වේදිකා නාට්‍ය නැරැඹීමෙන් ද වෙහෙසට පත් වී සිටින, ප්‍රේක්ෂකයනට ආදරණීය කතාවක් වැනි චිත්‍රපටයක් රැගෙන එන සැහැල්ලු ආශ්වාදය ආශීර්වාදයක් වැනි යයි සිතේ.

රූපවාහිනී ආයතනයක, රියැලිටි ෂෝ වැඩසටහනක නිෂ්පාදිකාව, සමායෝජිකාව (Coordinator) අවසාන වටයේ තරග වදින ගමෙන් නගරයට පැමිණි යුවතිය, මේ වන විට ගායන ක්ෂේත්‍රයේ තාරකාවක් බවට පත්වී සිටින යොවුන් ගායකයා හා ඔහුගේ කළමනාකරු යන චරිත වටා, මූලික වශයෙන් ගායිකාව, ජනප්‍රිය ගායකයා හා වැඩසටහන් නිෂ්පාදකවරිය වටා ගොඩනැ‍ඟෙන ආදරයේ සංකූලතා, එකිනෙකා අතර වන ඊර්ෂ්‍යාව, තමන් සතුකර ගැනීමේ ඕනෑකම , වෛරය පරිත්‍යාගය වැනි යෞවන ප්‍රේමයක් තුළ අප අත්විඳින වේදයිත මනාව ඉස්මතු වන අයුරින් ප්‍රධාන නළු නිළියන් ගේ රූපණ දක්ෂතා අපූරුවට උකහා ගනිමින් අධ්‍යක්ෂණ කාර්යයෙහි හපන්කම් පෑමට ප්‍රියන්ත කොළඹගේ සමත් වෙයි. චිත්‍රපටයේ නළුවරණය (Casting) පිළිබඳ සෑහීමකට පත් විය හැකි අතර, අධිරංගනයෙන් තොරව, තම චරිත ප්‍රතිනිර්මාණයෙහි ලා ප්‍රධාන නළු කැල දක්වා ඇති ප්‍රතිභාව චිත්‍රපටය පුරා විසිරී පෙනේ. අභිමාන් (හේමාල් රණසිංහ) පියවි (උදාරි වර්ණකුලසූරිය), දෙව්ලි (අරුණි රාජපක්ෂ) හා විධූ (බිමල් ජයකොඩි) ආදීන් එකිනෙකා නොපරයමින් තම රංගන කාර්යය ඉටු කරන බව දිටිමි. අබිමාන්ගේ කළමනාකරු ලෙස රඟන බිමල් ජයකොඩි අපූරු රංගනයක යෙදෙනවා යයි මට සිතුණි. තම මිතුරු ගායකයාත්, ඔහුගේ පෙම්වතිත් අතර හැල හැප්පීම් මැද ගලා යන ආදර වෘතාන්තයේ මැදිහත්කරුගේ චරිතයට පිවිස, තම මිතුරාත් ඔහුගේ ගායිකා පෙම්වතියත් අතර, බැඳුණු ආදරය වටහාගත්, ඊට කැපවූ මිතුරෙකුගේ අසීරු චරිතය බිමල් තම රංගන පෞරුෂයෙන් සුක්ෂම ලෙස නිරූපණය කරයි. මා පෙර අවස්ථාවකත් සඳහන් කොට ඇති පරිදි හේමාල් රණසිංහ යනු අපගේ සිංහල සිනමාව සොයාගත් මහාර්ඝ මිණි කැටයක් බඳු නළුවෙක් බව ආදරණීය කතාවකින්ද යළි සනාථ කොට සිටී. යෞවන ප්‍රේමවන්තියන්ගේ භූමිකා නිමවන උදාරි මෙන්ම අරුණිද ප්‍රේකෂක අවධානය ග්‍රහණයට ගනිමින් රඟපාති. චිත්‍රපටය අවසානයේ අබිමාන් ජීවිතය අග්ගිස්සෙහි සිටින ජවනිකා පෙළෙහි, උදාරිගේ මෙන්ම අරුණිගේද රඟපෑම් ප්‍රේක්ෂක නෙතට කඳුළක් එක් කරනු දුටුවෙමි. ආදරණීය කතාවක් යනු කලාත්මක ගණයේ විශිෂ්ට සිනමාවක් නොවේ. එහෙත් පොදු ප්‍රේක්ෂක දුක් සන්තාප නිවමින් ආදරය පිළිබඳ නැවුම් අත්දැකීමකට හවුල් වූවාය යන හැඟීමෙන් යුතුව චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් පිටවී යා හැකි වර්ගයේ නිර්මාණයකි. අපි මෙවන් චිත්‍රපට අනිවාර්යයෙන්ම අපගේ සිනමාවට අවශ්‍ය මොහොතක් පසුකරමින් සිටිමු.

බුද්ධදාස ගලප්පත්ති

[email protected]


අදහස් 1ක් ඇත

ඇත්තටම ආදරණිය කතාවක්..පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ඉතාමත් චමත්කාර ආදර අන්දරයක් වේවි...සියලුම දෙනාට ආරාධනා කරනවා මෙය නරඹන ලෙසට..!!

පිටු

නව අදහස දක්වන්න

Or log in with...