Saturday, April 27, 2024
Home » බැල්ටිමෝර් පාලම කඩා වැටෙද්දී පිකප් එකේ ගිය දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ

බැල්ටිමෝර් පාලම කඩා වැටෙද්දී පිකප් එකේ ගිය දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ

by chanaka
March 28, 2024 3:24 pm 0 comment

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදු වූ බැල්ටිමෝර් වරාය ආසන්නයේ සිදු වූ නෞකා අනතුරෙන් මියගිය බවට සැලකෙන 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සහන කණ්ඩායම් සොයා ගෙන ඇත.

බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නෞකාව ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙම සිද්ධියෙන් එම පාලමට දැඩි හානි සිදු වූ අතර ඒ මත ගමන්ගත් රථවාහන ගණනාවක් ද ජලයට වැටී තිබුණි.

පාලමේ ගමන්ගත් 6 දෙනෙකු සිද්ධියත් සමඟ අතුරුදන් වූ අතර ඔවුන් මිය ගිය බවට විශ්වාස කෙරේ.

මේ වන විට දින දෙකක් පුරා ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

පාලම කඩාවැටුණු ස්ථානයේ ජලයට යටවී තිබූ රතු පැහැති පිකප් ට්‍රක් රථයක තිබී පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටුණු ස්ථානයෙන් බදාදා උදෑසන රතු පිකප් ට්‍රක් රථයක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේරිලන්ඩ් ප්‍රාන්ත පොලිසියේ කර්නල් රෝලන්ඩ් බට්ලර් පැවසුවේ කිමිදුම්කරුවන් දෙදෙනෙකු බේරාගත් මෙම සිරුරු 35 හැවිරිදි Alejandro Hernandez Fuentes සහ 26 හැවිරිදි Dorlian Ronial Castillo Cabrera ලෙස හඳුනාගෙන ඇති අතර අඩි 25 ක් පමණ ජලයේ මැද පරතරයේ තිබී එම සිරුරු හමුවූ බවයි.

සිද්ධියෙන් තවත් හතර දෙනෙක් මිය ගිය බව අනුමාන කර තිබේ.

අඟහරුවාදා කඩා වැටීමෙන් ටික වේලාවකට පසු පුද්ගලයින් දෙදෙනෙකු ජලයෙන් බේරාගෙන ඇත. බේරාගත් එක් සේවකයෙකුට තුවාල සිදුවී නොමැති අතර අනෙක් පුද්ගලයා මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

පාලම කඩා වැටෙන අවස්ථාවේ වළවල් පිරවීමේ වැඩ කරමින් සිටි හය දෙනාම අනතුරට හසුවිය.

ලාභ නොලබන සංවිධානයක් වන CASA අතුරුදහන් වූ එක් සේවකයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ තිදරු පියෙකු වූ එල් සැල්වදෝරයේ මිගෙල් ලූනා ය.

අනුව අතුරුදහන් වූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු ග්වාතමාලාවේ සිට පැමිණි බව ග්වාතමාලා විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන්නේ සිංගප්පූරුවේ ධජය සහිත ඩාලි නෞකාව තුළ ඉන්ධන ගැලුම් මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් සහ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ තිබුණ ද මහජනතාවට අනතුරක් නොමැති බවයි.

නෞකාවේ විදුලිබල පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ආලෝකය නොමැතිකමින් මෙම අනතුර සිදුව තිබුණු බව මේවන විට අනාවරණය කර ගෙන ඇත.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රයක් සොයා ගෙන ඇති අතර එමගින් සිදු වූ අනතුර පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇතැයි විමර්ශකයන් බලාපොරොත්තු වේ.

ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම ප්‍රතිනිර්මාණය කිරීමේ සම්පූර්ණ වියදම එක්සත් ජනපද රජය විසින් දරනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇතත් මේ සඳහා කොපමණ කාලයක් ගතවනු ඇති ද යන්න පැහැදිලි වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT