Home » වසර 16කට පසු කපිල කුමාර කායවර්ධන ලොකු පුටුවකට

වසර 16කට පසු කපිල කුමාර කායවර්ධන ලොකු පුටුවකට

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ආදර්ශවත් ක්‍රීඩා පරිපාලනයක් ඇති කරනවා 
– නව සභාපති රන්දීර් රුද්‍රිගු

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වූ අතර, කපිල කුමාර මහතා වසර 16කට පසු එම සම්මේලනයේ ප්‍රධාන තනතුරකට පත්විය. කපිල මහතා සමඟ ලේකම් තනතුරට තරග කළ කේ.එම්.ඩී. සිල්වා මහතා අවසන් මොහොතේ ඉල්ලා අස්වීම හේතුවෙන් කපිල කුමාර මහතා නිතරගයෙන් තේරී පත්විය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වියට් ශ්‍රවණාගාරයේ පැවති අතර, දිස්ත්‍රික් සංගම් 10ක් හා ක්‍රීඩා සංගම් 3ක් නිලවරණයට පැමිණ සිටියහ.

මෙවර ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති තනතුරට එල්ලේ සංගමයේ හිටපු ලේකම් රන්දීර් රුද්‍රිගූ මහතා නිතරගයෙන් තේරී පත්විය.

ලේකම් තනතුරට පත්වූ කපිල කුමාර මහතා ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් ලබා පසුව අධිකරණය මඟින් තහනම ඉවත් කිරීමෙන් පසු නිලවරණයට ඉදිරිපත් විය.

නිලවරණයෙන් අනතුරුව නව සභාපති රන්දීර් රුද්‍රිගු මහතා පැවසුවේ කායවර්ධන ක්‍රීඩා සම්මේලනය මෙරට ආදර්ශවත් ක්‍රීඩා පරිපාලනයක් කරන බවය. “අපි එකමුතුව වැඩ කරලා ක්‍රීඩාව ඉහළටම ගන්නවා. පළපුරුදු නිලධාරීන් පිරිසක් මට ඉන්නවා” රුද්‍රිගු මහතා පැවසීය.

වංචාවෙන් දූෂණයෙන් තොර පරිපාලනයක් නිර්මාණය කරන බව කපිල කුමාර මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. “මේක කායවර්ධන ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය වෙනවා. අපි ලෝක කායවර්ධන ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පවත්වනවා. අපේ ක්‍රීඩකයන්ට යහපත් අනාගතයක් වෙනුවෙන් අපි කැප වෙනවා” කපිල කුමාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලධාරී මණ්ඩලය මෙසේය: සභාපති – රන්දීර් රුද්‍රිගූ, ලේකම් – කපිල කුමාර , භාණ්ඩාගාරික – සිසිර සමන්සිරි, උප සභාපතිවරු – නිහාල් වීරතුංග, ලයනල් කුමාර, උප ලේකම් – කේ. පී. පී. චතුරංග, උප භාණ්ඩාගාරික – කිත්සිරි බණ්ඩාර.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT