Saturday, April 27, 2024
Home » සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් ගැසට්ටුව ඉවතට

සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් ගැසට්ටුව ඉවතට

by mahesh
March 29, 2024 1:03 am 0 comment

පාරිභෝගික භාණ්ඩ ගෙන යෑමට වෙළෙඳ සල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (28) දන්වා සිටියේය.

සිලි සිලි බෑග් සඳහා මුදල් අය කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේ බව දන්වා සිටියාය.

එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දන්වා සිටියේ සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවය.

එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව ඇය අධිකරණයට දන්වා සිටියාය.

තමන් මෙම පෙත්සම මඟින් ඉල්ලා සිටින සහනය ලබාදීමට වගඋත්තරකාර පාර්ශ්වය එකඟතාව පළ කරන බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ද සඳහන් කළේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

වෙළෙඳ සල්වලින් භාණ්ඩ ලබා ගැනීමේදී පාරිභෝගිකයන්ට ලබාදෙන සිලි සිලි කවර හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවට පෙත්සම මඟින් පෙන්වාදී තිබිණි. එම බෑග් සඳහා යම් මුදලක් අය කළහොත් ඒවා භාවිත කිරීම සීමාවිය හැකි බවට පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT