Home » සූර්ය මංගල්‍යය හා බැඳුණු අපේ අවුරුදු චාරිත්‍ර

සූර්ය මංගල්‍යය හා බැඳුණු අපේ අවුරුදු චාරිත්‍ර

1953 ඡායාරූපයකි. අනුග්‍රහය ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලය

by sachintha
April 12, 2024 3:36 am 0 comment

නිවෙසේ සිටින අම්මා මූලික කරගනිමින් ආහාර පිසීමේ නැකත සිදුවේ. මෙම අවස්ථාවේදී එම වර්ෂය සඳහා වෙන් කර තිබෙන වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රාභරණවලින් සැරසී සුබ දිශාව බලා මව මුල්වී නිවෙසේ සියලු‍ දෙනා කුස්සියට පැමිණ ආහාර පිසීමේ කටයුතු සිදු කරනු ලබයි. තවත් මොහොතකින් අනතුරුව ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීමහා ආහාර අනුභව නැකත උදාවේ. මෙම නැකත් අවස්ථාව උදාවන තුරු සියලු‍ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටිති.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

වාර්ෂිකව පැවැත්වෙන සූර්ය මංගල්‍යය “බක් මහ කෝණ මංගල්‍යය, සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද” යන නම්වලින් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ එය හඳුන්වන්නේ සිංහල අලු‍ත් අවුරුද්ද නමිනි. අලු‍ත් අවුරුදු උත්සවය සූර්යයාට සම්බන්ධ උත්සවයක් වන අතර එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ භාග්‍යවන්ත මාසයක් හෙවත් බක් මාසයේදීය. බක් මාසයේ සමරන මෙම උත්සවය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවැති මහා සංස්කෘතික මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල අලු‍ත් අවුරුද්ද හා බැඳී පවතියි. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර ප්‍රමුඛය.

කෘෂිකර්මාන්තයෙන් යැපෙන සංස්කෘතියක් ඇති ඕනෑම රටක කෘෂිකර්මාන්තයෙන් ලැබෙන අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව එය සතුටින් සැමරීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වැපිරීම වප් මාසයේ ආරම්භ කරන අතර එහි අස්වැන්න නෙළන්නේ මැදින් මාසයේදීය. අස්වැන්න නෙළා ගැනීමේ සතුට සැමරීමේ අවස්ථාව අලු‍ත් අවුරුද්ද ලෙස හඳුන්වනු ලබයි.

මැදින් මාසයේ නෙළා ගනු ලැබූ අස්වැන්නේ මුල් කොටස අග්‍රශ්‍ය දානය ලෙස බුදුන්ට පූජා කරන අතර තවත් කොටසක් දෙවියන්ට වෙන්කර ඉතිරි කොටස පරිභෝජනය සඳහා වෙන් කරනු ලබයි. මෙය අතීතයේ සිට චාරිත්‍රයක් ලෙස සිදු කරමින් වර්තමානය දක්වා පැමිණ ඇත. මේ කටයුතු සියලු‍ දෙනා සාමූහිකව සිදුකරන ආකාරය මෙහිදී අපට දැකගත හැකිය.

අවුරුද්ද සම්බන්ධයෙන් ඉතිහාසයේ විවිධ තැන්වල විවිධ තොරතුරු සඳහන් වී ඇත. සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයේදී ප්‍රධාන මූලාශ්‍ර දෙකක් හමුවන අතර ශ්‍රී ලංකාවේ සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්ථය ඉන් එකක් වේ. එමෙන්ම රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජෝන් ඩේව් ලියූ සටහන් අනෙක් මූලාශ්‍රයයි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථයේ සිංහල අලු‍ත් අවුරුද්ද මැදින් මාසයේ 21 සිට සතියක පමණ කාලයක් සමරන බව සඳහන් කර ඇත.

එම ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පළමු චාරිත්‍රය ලෙස සඳහන් කර ඇත්තේ හිසතෙල් ගෑමේ නැකතයි. විහාරස්ථානයට, මාලිගාවට හෝ දේවාලයට ගොස් මෙම හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ බව සඳහන් වේ. එම අවධියේ අවුරුදු නැකැත් නිර්මාණය කර ඇත්තේ මාලිගාවේ නැකත් රාල විසින් වන අතර හිසතෙල් ගෑම සඳහා නානු පිළියෙල කර ඇත්තේ සහ එහි ඖෂධ වට්ටෝරුව තීරණය කර ඇත්තේ මාලිගාවේ කාරියකරවන රාළ විසිනි. මෙම කාරියකරවන රාළ ප්‍රකාශ කළ ඖෂධ වට්ටෝරුවට අනුව නාථ දේවාලය තුළ දී නානු පිළියෙල කිරීමේ කටයුතු සිදු කර ඇත. මෙම නානු, මාලිගාවට සහ අවට දේවාලවලට බෙදා දීමක් පිළිබඳව ද මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. නාථ දේවාලය මූලික කරගනිමින් මෙම රාජ්‍ය උත්සවය පවත්වා ඇත. මේ ආකාරයට සාදාගත් නානු උඩරට විහාර දේවාල 83කට බෙදා දුන් බව ද තවදුරටත් සඳහන් කර ඇත. රජතුමා මෙම අලු‍ත් අවුරුද්ද සැමරීමේ කටයුතු සිදු කිරීමට ජනතාව සමඟ මසකට පමණ කාලයක සිට සූදානම් වී ඇත. රජමාලිගාවේ සෑම දොරටුවකම තොරණ ඉදිකර සැරසිලි කටයුතු සිදු කර තිබේ.

පරණ අවුරුද්ද

ජෝන් ඩේව්ගේ සටහන්වලට අනුව රජතුමා උදෑසනින්ම ස්නානය කර සර්ව ආභරණවලින් සැරසී මාලිගාවට පැමිණෙන අතර ආචාර වෙඩි මුර රජු වෙනුවෙන් පවත්වා ඇත. මෙම වෙඩි මුර පවත්වා ඇත්තේ කොඩිතුවක්කු රාල විසිනි. රජු සිංහාසනාරූඪවීමෙන් අනතුරුව කන්‍යාවියන් කිහිපදෙනෙක් විසින් රජුට ආශිර්වාද කළ බව සඳහන් කරයි. එහිදී රජුගේ හිසට ඉහළින් වියන් ලෙස කොළ වර්ග සහ පයට පහළින් කොළ වර්ග ද තබමින් නියම නැකතට මෙය චාරිත්‍රයක් ලෙස හිසතෙල් ගෑම සිදු කර ඇත. ඉන් අනතුරු නිලමේවරුන්ට සහ අනෙකුත් මාලිගාවේ පිරිසට හිස තෙල් ගෑම සිදු කළ බව සඳහන් වේ. පසුව සියලු‍ දෙනා එකතු වී ආහාර අනුභව කළ බව ද දක්වා තිබේ.

එදා හිසතෙල් ගෑමේ චාරිත්‍රයෙන් ආරම්භ කළ ද වර්තමානයේ චාරිත්‍ර ආරම්භ වන්නේ පරණ අවුරුද්දෙනි. පරණ අවුරුද්දේදී අප අතින් යම් අයහපත් දෙයක් සිදු වුණා නම් එයින් මනස සහ ශරීරය පිරිසුදු කර ගැනීම පදනම් කර ගනිමින් පරණ අවුරුද්ද සමරනු ලබයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී ළිඳ අසලට, වැව අසලට හෝ ගඟ අසලට ගොස් එම වැව හෝ ගඟ නිර්මාණය කිරීමට මූලික වූ මුතුන් මිත්තන් සිහි කර ඔවුන්ට පින් දී ස්නානය කර ඇත. ස්නානය කර පැමිණීමෙන් අනතුරුව පරණ අවුරුද්ද දවසේදී මව විසින් විශේෂ රාජකාරියක් ඉටු කරනු ලබයි. එනම් “කුණු මුත්තා පිදීමේ” චාරිත්‍රය ඇය විසින් සිදු කරනු ලබයි. කුණු මුත්තා ළිප් බොක්ක නැත්නම් අළු බොක්ක ලෙස හඳුන්වයි. එහිදී ගෙදර මව විසින් ළිප් බොක්කට කැවුම් කිහිපයක් දමා, ළිපේ තිබෙන අළු සමඟ මිශ්‍ර කර කොළ පතක දමා රැගෙන පෑලදොරින් ගෙදරින් පිටවේ. ඉන් පසුව ගොම සහ හුඹස් මැටි මිශ්‍රණය රැගෙන නිවෙසේ ප්‍රධාන දොරටුවෙන් නිවසට පිවිසේ. එම ගොම සහ හුඹස් මැටි එකට මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයෙන් ළිප් බොක්ක හෙවත් ප්‍රධාන ලිප පිළියෙල කරනු ලබයි. මෙම ළිප පිළියම් කිරීමෙන් අනතුරුව මුළු මුළුතැන්ගෙයම අලු‍ත් සිරියක් ගනියි.

පුණ්‍ය කාලය

නිරත වීමේ අවස්ථාව හිමිවේ. පුණ්‍ය කාලයේදී වෙනත් කටයුතුවලින් ඉවත් වී සිටින අතර එම අවස්ථාවේදී ආහාර අනුභව කිරීමට තහංචි පැනවේ. මෙම නැකත් අවස්ථාවේදී විහාරස්ථානයට හෝ තමන්ගේ ආගමික ස්ථානයට ගොස් පුණ්‍ය කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ.

ඉන් අනතුරුව නැකතට අලු‍ත් අවුරුදු උදාවන අතර මෙය ජ්‍යෝතිෂයට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම ලෙස හඳුන්වයි. ජ්‍යොතිෂයට අනුව රාශි දොළහක් තිබෙන අතර එහි අවසාන රාශිය මීන රාශියයි. අවසාන රාශියේ සිට පළමු රාශියට ගමන් කිරීම අවුරුදු උදාව නැතහොත් සූර්ය කුමාරයාගේ සම්ප්‍රාප්තිය ලෙස හඳුන්වයි. එම අවස්ථාවේ සූර්ය කුමාරයා පිළිගැනීමට එක් එක් ප්‍රදේශ ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. බොහෝ ප්‍රදේශවල ගොක් කොළ හෝ තල් කොළ පහන් පැලක් සකස් කර, මල් පහන් පූජා කර එම මොහොතේ සූර්ය කුමාරයා පිළිගනියි. සූර්යයාගේ ශක්තිය මත සියලු‍ම කෘෂිකර්මාන්ත කටයුතු සිදු වන අතර මිනිසුන් ජීවත් වන්නේ ද එම ශක්තිය උපයෝගි කර ගනිමිනි. එම නිසා සූර්යයාට නමස්කාර කරන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හඳුනාගත හැකිය.

ළිඳ සමඟ ගනුදෙනුව

මීළඟ උදාවන නැකත වන්නේ ආහාර පිසීමේ නැකතයි. නිවෙසේ සිටින අම්මා මූලික කරගනිමින් ආහාර පිසීමේ නැකත සිදුවේ. මෙම අවස්ථාවේදී එම වර්ෂය සඳහා වෙන් කර තිබෙන වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රාභරණවලින් සැරසී සුබ දිශාව බලා මව මුල්වී නිවෙසේ සියලු‍ දෙනා කුස්සියට පැමිණ ආහාර පිසීමේ කටයුතු සිදු කරනු ලබයි.

තවත් මොහොතකින් අනතුරුව ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය නැකත උදාවේ. මෙම නැකත් අවස්ථාව උදාවන තුරු සියලු‍ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටිති. වැඩ ඇල්ලීමේ අවස්ථාවේදී පියා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින කෙනෙක් නම් පැළයක් සිටුවීම හෝ ගහක් සමඟ ගනුදෙනුවක් සිදු කීරීමට යොමු වෙයි. එහිදී වෙනත් කර්මාන්තවල නිරත වන පිරිස් තමන් යෙදී සිටින කර්මාන්තයට අදාළ මොනයම් හෝ කටයුත්තක නිරතවේ. මව වැඩි වශයෙන් ළිඳ සමඟ ගනුදෙනු කරන නිසා ළිඳට මල් ටිකක් දමා ළිඳට වැඳ ළිඳෙ‍න් වතුර ටිකක් ලබාගනී. ශිෂ්‍යයන්, දරුවන් සිටිනවා නම් ඔවුන් අධ්‍යාපන කටයුතු නිරත වේ. ගනුදෙනු කිරීමේදී බුලත් හුරුලු හුවමාරු කරගනිමින් ගනුදෙනු කරනු ලබයි. මෙහිදී තෑගි ලබාදීම, පඬුරු ලබාදීම ද දැකගත හැකිය. කුඩා අය බුලත් හුරුලු දී වැඩිහිටියන් වැඳ නමස්කාර කිරීම මෙම අවස්ථාවේදී සිදු වේ. ආහාර අනුභවයේදි සියලු‍ කැවිලිවලින් සමන්විත කෑම මේසයක් සකස් කර දූදරුවෝ ඇතුළු නිවසේ සියලු‍ දෙනා එකතු වී ආහාර අනුභව කරනු ලබයි.

මිළඟට නැකතක් සහ චාරිත්‍රයක් ලෙස සඳහන් කළ හැකි හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරනු ලබයි. රජ කාලයේ මුලින්ම සිදු කළ නැකත වන්නේ මෙම නැකතයි. වර්තමානයේ මෙම චාරිත්‍රය අවුරුදු දිනට දිනක් හෝ දින කිහිපයකට පසුව යෙදේ. එතැනදී විහාරස්ථානය, දේවාලය, වෙදගෙදර හෝ විශේෂ ස්ථානයක් තෝරාගෙන එම ස්ථානයේ හිසට අවශ්‍ය ඖෂධ පත් සහ පයට පහළින් ඖෂධ පත් තබා සාදවාගත් නානු සහ තෙල් හිසට ආලේප කරනු ලබයි. ශරීරයේ තිබෙන වා, පිත්, සෙම් දෝෂ සමනය කිරීම අරමුණු කර ගනිමින් මෙම හිසතෙල් ගෑමේ කටයුතු සිදු කරනු ලබයි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත තවත් දින කිහිපයකට පසුව උදාවේ. මෙම නැකතේදී යම් සුබ වේලාවක් සහ සුබ දිශාවක් අනුව රැකියා කටයුතුවලට පිටත්ව යයි.

අවසාන චාරිත්‍රය ලෙස උදාවන්නේ නව සඳ බැලීමේ චාරිත්‍රයයි. අවුරුද්දෙන් පසුව පළමුව සඳ මෝදුවෙන දිනය එනම් පුරපසළොස්වක පුන් පොහොය දිනයේදී නව සඳ බැලීමේ චාරිත්‍රය සිදු කරයි. සූර්යයා සමඟ කතා කිරීමෙන් අනතුරුව මෙම අවස්ථාවේදී සඳ සමඟ කතා කිරීම මෙහිදී සිදු වේ. එම දිනයේ රාත්‍රියේ පියා නිවසින් බැහැරට ගොස් හූ තුනක් කියනු ලබයි. එම හූ තුන කීමෙන් අනතුරුව දරුවන් ද නිවෙසින් බැහැරට පැමිණ හූ කියමින්, ගීත කියමින් සඳට සතුට ප්‍රකාශ කරනු ලබයි. මව නිවෙසින් බැහැරට පැමිණීමේදී කලටි පොල් කැබලි සමඟ රසකැවිලි රැගෙන එන අතර එම රසකැවිලි සහ කලටි පොල් කැබලි සියලු‍ දෙනා එකතු වී ආහාරයට ගනී.

සූර්ය කුමාරයාගේ සම්ප්‍රාප්තිය

පරණ අවුරුද්දෙදි පින් දීමක්, කළ ගුණ සැලකීමක් සිදු කිරීම දැකගත හැකිය. පුණ්‍ය කාලය හෙවත් නොනගතයේදී පුණ්‍ය කටයුතුවල නිරත වීම නිසා මනස සුවපත් කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනු ඇත. පුණ්‍ය කාලයේ ආහාර ගැනීමට තහංචියක් පැනවීම හරහා ශරීරය එක්තරා ආකාරයට සමබර කිරීමක් බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව පුරුෂ මූලික සමාජයක් ලෙස ක්‍රියාත්මක වුණත් මව ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ගරුත්වයක් ලබාදෙන අවස්ථාවක් ලෙස මුළුතැන්ගෙය අලු‍ත් කර ගැනීමේ අවස්ථාව සහ ළිපි ගිනි මෙලවීමේ අවස්ථාව දැකගත හැකිය. කාන්තාවට මුල්තැන ලබාදෙන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන. සූර්ය කුමාරයාගේ සම්ප්‍රාප්තිය සිදු වන අවස්ථාවේ පහන් පැලක් සකස් කර සූර්ය කුමාරයා පිදීම සොබාදහමට කරන නමස්කාරයක් ලෙස හඳුනාගත හැකිය. ගනුදෙනු කරන අවස්ථාව, වැඩ අල්ලන අවස්ථාව සහ ආහාර අනුභව කරන අවස්ථාවලදී සියලු‍ දෙනාගේ සහයෝගය සහ එකමුතුකම ලබා ගැනීම බලාපොරොත්තු වෙයි.

ඉන් පසුව ඉදිරි දිනවලදී ඥාතීන් බැලීමට යෑම, තෑගි බෝග හුවමාරු කර ගැනීම, ආහාර පාන හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි. මෙමඟින් ප්‍රීතිය, සහයෝගය, විනෝදය අපේක්ෂා කරයි. හිසතෙල් ගෑමෙන් වා, පිත්, සෙම් ත්‍රිදෝෂ සමනය කර ගැනීමෙන් නිරෝගීව ජීවත්වීම අපේක්ෂා කරගනී. සුබදිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත් වීම හරහා රැකියාවට පිටත් වන පුද්ගලයාගේ මනසට යම්කිසි ශක්තියක් ලබාදීම අපේක්ෂා කරයි.

සටහන – රුවන් පුෂ්ප කුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT