Home » උදව් කරන මුවාවෙන් ඇවිත් අනුන්ගේ ATMවලින් සල්ලි ඇදලා සැකකාර තරුණයා දැලේ

උදව් කරන මුවාවෙන් ඇවිත් අනුන්ගේ ATMවලින් සල්ලි ඇදලා සැකකාර තරුණයා දැලේ

by sachintha
April 12, 2024 3:02 am 0 comment

රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනු කරුවන්ගේ ATM කාඩ්පත ලබාගෙන ගනුදෙනුකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබූ මුදල් ලබාගත් පුද්ගලයෙකු හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (10) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් දික්ඔය ඇන්ෆීල්ඩ් වතුයායේ පදිංචි අවු 27 හැවිරිදි අයෙකු බවත්, සැකකරු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නිවාඩු දිනවල සහ බැංකු වසා දැමීමෙන් අනතුරුව එම බැංකුවල ATM යන්ත්‍ර වෙත පැමිණ එම යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වන ගනුදෙනුකරුවන්ට මුදල් ලබා ගැනීමට උපකාර කරන මුවාවෙන් ගනුදෙනුකරුගේ කාඩ්පත සහ රහස්‍ය අංකය ලබාගෙන පසුව ඔහු ගනුදෙනුකරු වෙත වෙනත් ATM කාඩ්පතක් ලබාදීම සිදු කර ඇති බවයි. හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වී ඇත.

සැකකරු ලබාදුන් කාඩ්පත භාවිතා කර ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වු ගනුදෙනුකරු එම ස්ථානයෙන් පිටව ගිය පසු සැකකරු එම ගනුදෙනුකරුගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබූ මුදල් අවස්ථා කිහිපයකදී ලබාගෙන ඇත.

සැකකරු හැටන්, කොටගල, තලවකැලේ, ලිදුල සහ ආගරපතන යන ප්‍රදේශවල මෙවැනි ආකාරයට ATM යන්ත්‍රවලින් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ වෙනත් ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත් කිහිපයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වතු කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදු කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය මඟින් මීට ප්‍රථම මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගෙන ඇති බවත්, ඔහුට දඬුවම් ලබාදීමට නියමිත වී සිටින චුදිතයෙකු බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පවසා සිටියේ.

පසුගිය දින කිහිපය තුළ හැටන් ප්‍රදේශයේ ATM කාඩ්පත්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්වී ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT