Home » ‘පිකෝ ට්‍රේල්’ පෙත්මඟ ඔස්සේ ජනපති සුන්දර නුවරඑළියට
කිලෝමීටර් තුනක් පාගමනින්

‘පිකෝ ට්‍රේල්’ පෙත්මඟ ඔස්සේ ජනපති සුන්දර නුවරඑළියට

by sachintha
April 17, 2024 1:02 am 0 comment

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිදෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය. ‘පිකෝ ට්‍රේල්’ (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින්ම මේ සංචාරයට එක් වීම විශේෂත්වයකි.

‘පිකෝ ට්‍රේල්’ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කි.මී. 300ක පමණ දිගින් යුත් කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. ‘පිකෝ ට්‍රේල්’ නමැති මේ මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී, දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන් පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැඟෙනහිර දෙසට ගමන් කර, සුන්දර නුවරඑළිය නගරය වටා ගොස් අවසන් වේ. මේ මාර්ගය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීමට භාවිත කරන ලද්දකි.

‘පිකෝ ට්‍රේල්’ මාර්ගය ඔස්සේ කි.මී. 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේද තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත විය. ඒ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහත් හරසරින් පිළිගත් අතර, ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය. බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර, එහි මුළු සේවක සංඛ්‍යාව 349කි. මේ වතු ප්‍රජාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටලු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසු පාසල් අධ්‍යාපනය අවසන් කරන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය. එසේම වතු ජනතාවගේ නිවාස ගැටලුව පිළිබදවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ‘ලයිට් බ්‍රයිට් – Light Bright’ නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර, එහිද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විඳීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය. අනතුරුව ‘පිකෝ ට්‍රේල්’ හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා සොයා බැලීය.

‘පිකෝ ට්‍රේල්’ ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැඟීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි. ‘පිකෝ ට්‍රේල්’ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා දුන් සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තුතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ඇසුරෙන් මෙරට ආර්ථිකය නඟාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

‘පිකෝ ට්‍රේල්’ මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂ අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයන්ට අවස්ථාව සැලසේ. ‘පිකෝ ට්‍රේල්’ සංචාරක මාර්ගය අදියර 22කින් සමන්විත වන අතර, එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘පිකෝ ට්‍රේල්’සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහායද ලැබී තිබෙන අතර, තිරසර පාරිසරික සංවර්ධනය වැනි කරුණුද ඊට ඇතුළත් වේ. ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT