Home » ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස අමාත්‍යාංශයක් ලෙස අප කළා – ඇමැති මනුෂ නානායක්කාර

ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස අමාත්‍යාංශයක් ලෙස අප කළා – ඇමැති මනුෂ නානායක්කාර

by sachintha
April 18, 2024 1:03 am 0 comment

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට ඊයේ (17) සහභාගි වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට මෙරට කම්කරු ක්ෂේත්‍රයේ සාධණීය වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකියාව ලැබුණු බවත්, ඒ වෙනස්කම් සඳහා මූලික අඩිතාලම ඉකුත් වසර අවසානයේ දැමීමට පියවර ගත් බවත් පැවසූ ඇමැතිවරයා ඊට අනුගතව එම කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදු වන බව සිහිපත් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේදී පැවසීය:

“මීට අවුරුදු දෙකකට විතර කලින් ජනතාව පාරට බැහැලා කෑගහලා සිස්ටම් එකේ වෙනසක් ඉල්ලුවා. හැබැයි සමස්ථයක් විදිහට ජනතාව හිතපු දේ තමයි ක්‍රමයේ වෙනසක් ඇති කිරීම. හැබැයි එහිදී ජනතාව ඔලුගෙඩි වෙනස් කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වුණේ. ඒකට තමයි අපට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය කර තිබුණේ. කවුරු වෙනස් වුණත් වෙනස් නොවන වැඩපිළිවෙළක් සකස් කිරීමටයි අපට අවශ්‍ය වුණේ. පහුගිය අවුරුදු දෙකක කාලයේදී අපේ අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙළ නිවැරදිව ඉටු කළා. අපි විගමනික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්තිය ගැන යළිත් අවධානය යොමු කර සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීමට අදාළ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. කම්කරු නීතිය වෙනස් කරන්නත් අප සමත් වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනස් කර ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්නත් අපට හැකියාව ලැබුණා.

“ඒ වගේම ඩිජිටල්කරණය කරන්නත්, එමඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල්කරණය කරන්නත් අපට හැකියාව ලැබුණා. සුද්දගේ කාලයේවත් හිතපු නැති සෑම ශ්‍රමිකයෙකුටම ගරුත්වයක් දෙන ගරුසරු වැඩසටහන ආරම්භ කරන්නත් හැකියාව ලැබුණා.

“අපට ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අවශ්‍ය වන මූලිකම කාරණය වන ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබුණා. ඒකට අමාත්‍යාංශයේ සියලු දෙනා කැප වී කටයුතු කළා. මේක තමයි සැබෑ අරගලය. ඒ කියන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය සේවකයන් සියලු දෙනා එකට එකතු වෙලා මහන්සි වෙලා වැඩ කරන එක තමයි අරගලය කියන්නේ. වැඩ කරලා රට ගොඩනැඟීම තමයි සැබෑ අරගලය වෙන්නේ. අවුරුදු ගානක් කරන්න බැරි වුණ දේවල් මේ වසර දෙකේදී කරන්න අපට හැකියාව ලැබුණා.”

සුභාෂිණි සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT