Home » ජාජබ-සජබ විවාදය

ජාජබ-සජබ විවාදය

by sachintha
April 18, 2024 2:10 am 0 comment

විවාදය ගැන කතා කර ගන්න මට ආරාධනා කළැයි කීම අමූලික බොරුවක්

විවාදය ගැන කතා කිරීමට තමාට ආරාධනා කළ බවට ජාතික ජන බලවේගය කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විවාදය ගැන කතා කිරීමට මාධ්‍ය ආයතනයක් මඟින් ආරාධනා කළත් ඒ ගැන කතා කළ යුත්තේ පොදු තැනක මිස මාධ්‍ය ආයතනයක නොවන බැවින් එය ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම කීවේය.

ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් නොව, විදේශ සබඳතා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නායකයන්ට විවාද කිරීමට තිබෙන බවත් මේවා ගැන කතා කිරීමට ඇති බිය නිසා ජාතික ජන බලවේගය විවාදයට පස්ස ගහන බවත් හෙතෙම පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජාතික ජන බලවේගය ආර්ථික කමිටුවක් පත් කළ නිසා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට එන්න කියා ආරාධනා කළා. ආර්ථික කමිටුවට ඇත්තේ ආර්ථිකය ගැන කතා කිරීමටයි. ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට කරුණු රාශියක් ගැන සාකච්ඡා කිරීමට තිබෙනවා.

විවාදයට කාල සීමාවක් අවශ්‍ය නැහැ. විපක්ෂ නායකවරයා ඕනම කාලයක් විවාද කිරීමට සූදානම්. සියලු මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ විවාදය පැවැත්විය යුතුයි. ලක්ෂ 220ටම බලන්න පුළුවන් විවාදයක් කරමු කියලා විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා. විවාදයට කාල සීමාවක් අවශ්‍ය නෑ කියලත් විපක්ෂ නායකතුමා කිව්වා. ඕනම කාලයක් විවාද කරන්න විපක්ෂ නායකතුමා සූදානම්. විපක්ෂ නායකතුමා විවාදවලට බය නෑ. ඔහු දැනුම් ගබඩාවක් තිබෙන පුද්ගලයෙක්. ඔහු යාවත්කාලීන වන නායකයෙක් යැයි කීවේය.

සුභාෂිණී සේනානායක, රක්ෂණ ශ්‍රියන්ත

 

10 වැනිදා හමුවීමට නලින් බණ්ඩාර ආවේ නෑ

විවාදය ගැන කතා කර ගැනීමට ඉකුත් 10 වැනිදා හමුවීමට යොදා ගත්ත ද සජිත් පාර්ශ්වයේ විවාද සම්බන්ධීකාරක නලින් බණ්ඩාර මහතා එදින නොපැමිණි බව ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අලුත් අවුරුද්දත් සමඟ එම හමුව යට ගියත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕනෑම වේලාවක සූදානම් බවත් හෙතෙම කීවේය. එම විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සම්බන්ධීකාරක ලෙස පත් කර ඇති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අප විවාදයට සූදානම්. ඒ පිළිබඳ අප වාර කීපයක් ප්‍රකාශ කළා. ඉතිහාසයට ගිහින් බැලුවොත් අප තමයි පළමුව විපක්ෂ නායකවරයාට ආර්ථිකය සම්බන්ධව විවාදයකට අභියෝග කළේ. සමගි ජන බලවේගය ඒක ඇහුනෙ නැතිව වගේ හිටියා. දැන් ඒ සම්බන්ධව කතා කිරීමට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉදිරියට දමා තිබෙනවා. ජනාධිපතිවරණයක් තමයි ඉදිරියේ තිබෙන්නෙ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා විවාදයට පැමිණිය යුතුයි. අප ඒ පිළිබඳ ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළා. ඒ පිළිබඳ සම්බන්ධීකරණයට මාව පත් කළා. සමගි ජන බලවේගය පැත්තෙන් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පත් කළ බව ප්‍රකාශ වුණා. ඉන් පසුව අප දෙදෙනාම පසුගිය 10 වැනිදා මේ සම්බන්ධව කතාබහ කර ගැනීම සඳහා යොදා ගත්තා. එහෙත් ඔහු එයට සම්බන්ධ වුණේ නැහැ. අවුරුද්දත් සමඟ එය යට ගියා. අප එම විවාදයට තාම සූදානම්. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා අප ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයට තිබෙන්නෙ විවාදයට පැමිණෙන බව දැනුම් දීමයි. ස්ථානය පිළිබඳ ඔවුන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. නැත්නම් අපට ප්‍රකාශ කරන්න පුළුවන්. අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයට අකැමැති නම් අපට පුළුවන් ආර්ථික කමිටුව අතර විවාද කරන්න. නැතිව නලින් බණ්ඩාරයි මමයි අතර විවාදයක් ඇති වෙලා වැඩක් නැහැනෙ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT