Saturday, April 27, 2024
Home » අගමැති – චීන ජනපතිව හමුවෙයි

අගමැති – චීන ජනපතිව හමුවෙයි

by chanaka
March 28, 2024 8:46 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී ඊයේ (27) පස්වරුවේ පැවැත්විණ.

දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින අතරතුර, ශ්‍රී ලංකාවේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන නවීකරණ මාවතක් ගවේෂණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා සහය ලබාදෙන බවටත් චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

“ස්වාධීනත්වය, ස්වෝත්සාහය, සමගිය හා අන්‍යෝන්‍ය සහාය ”පදනම් වන “සහල්-රබර් ගිවිසුමේ”ජීවගුණය උරුම කර ගනිමින්, දිගු ඉතිහාසයකට හිමිකම් කියන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ පොදු අභිලාෂය බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේ ය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීන-ශ්‍රී ලංකා සම්බන්ධතා බලශක්ති, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් තවදුරටත් ඉදිරියට රැගෙන යා හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය හා ජාතික අභිමානය සුරැකීමට චීනය සහාය ලබා දෙන අතර, ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් පෙර සේම උපරිමයෙන් ආධාර සපයන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා වන ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානමින් සිටී. සාමකාමී සහජීවනය සහතික කෙරෙන පස් වැදෑරුම් මූලධර්ම අනුගමනය කරමින් කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම හමුවේ දී කියාසිටියේ, චීනය සමග පවතින සම්බන්ධතා තම රට සැමවිටම වැදගත් කොට සලකන බව යි. ශ්‍රී ලංකාව හා චීනය දුක සැප දෙකෙහි එකට සිටින කල්‍යාණ මිතුරෝ වෙති. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හෙතෙම කියාසිටී.

එසේම, එකම චීනය ප්‍රතිපත්තිය සපුරා අනුගමනය කරන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT