Saturday, April 27, 2024
Home » දකුණු අප්‍රිකානු කාන්තා පිල පළමු විස්සයි20 ලකුණු 79කින් දිනුම්

දකුණු අප්‍රිකානු කාන්තා පිල පළමු විස්සයි20 ලකුණු 79කින් දිනුම්

by sachintha
March 28, 2024 2:50 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ බිනෝනිහිදී පැවති පළමු විස්සයි20 තරගය ලකුණු 79කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

දෙරට අතර කාන්තා විස්සයි20 තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු පරතරය අනුව හිමි කර ගත් ඉහළම ජයග්‍රහණය ලෙස ද මෙය සටහන් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ ලකුණු 198ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 18.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 119ක් පමණි.

පන්දු 3කට මුහුණදුන් නායිකා චමරි අතපත්තුගේ ඉනිම එක් ලකුණකට සීමා වූ අතර, විශ්මි ගුණරත්නට පන්දු 9කින් රැස් කළ හැකි වූයේ ලකුණු 8ක් පමණි.

අනතුරුව පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන යෑමට උත්සාහ කළ අතර, ඉනිමේ 7 වැනි ඕවරය නිමා වීමත් සමඟ පිටියට වර්ෂාව පතිත වීමෙන් තරගය

මදකට නතර විය.

ඕවර අඩු කිරීමකින් තොරව යළි තරගය ආරම්භ වූ අතර, වර්ෂාවෙන් පසු යැවූ දෙවැනි ඕවරයෙන් හර්ෂිතා-හසිනි සබඳතාව ලකුණු 44කදී බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලකුණු රැස් කිරීමේ වේගය අඩාල විය. පන්දු 18කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් රැස් කර සිටි හසිනි තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හර්ෂිතා පන්දු 33කින් ලකුණු 38ක් රැස් කළේ හතරේ පහර 5ක් සමඟිනි.

හර්ෂිතා මුළු ලකුණු 97දී 5 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර, තවත් ලකුණු 22ක් තුළ ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් සමත් වූහ. පන්දු යැවීමේදී ඇනරී ඩර්ක්සන් සහ ටුමි සේකුකුනේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාඩ්ට් සිය මංගල විස්සයි20 ශතකය ලෙස ලකුණු 102ක් රැස් කිරීමට සමත් වූවාය. හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ ඇයගේ ඉනිමට වැය වූයේ පන්දු 63ක් පමණි.

පළමු කඩුල්ල ලකුණු 25දී බිඳ වැටීමෙන් අනතුරුව නායිකාව සමඟ එක්වූ මැරිසාන් කාප් පන්දු 80කින් ලකුණු 116ක සබඳතාවක් ගොඩනැඟුවාය. පන්දු 80කදී ලකුණු 116කින් ගොඩනැඟුණු එම සබඳතාව මැරිසාන් දවා ගනිමින් බිඳ දැමූ අචිනි කුලසූරිය පන්දු කෙලින්ම කඩුල්ලේ වැදීමට සැලැස්වීමෙන් ලෝරා ද දවා ගත්තාය. නිලක්ෂි ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙන් මැරිසන් දැවී ගිය අතර, ඒ සමඟ නිලක්ෂි විස්සයි20 ශ්‍රී ලංකා ක්‍රිකට් තරග බිමේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩිකාව බවට ද පත් වූවාය. සිය 80 වැනි තරගයට ක්‍රීඩා කළ ඇය මේ වන විට රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 35කි. මේ තරගයට පෙර ඇය තරග 123ක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු (34) සමඟින් සම තත්ත්වයේ පසු වූවාය.

මැරිසාන් පන්දු 40කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 60කි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව බවට සූනේ ලූස් ඊයේ පත්වූයේ 115 වැනි තරගයට ක්‍රීඩා කරමිනි. ඇයගේ ඉනිම ලකුණු 14කට සීමා වෙමින් දුවද්දි දැවී යෑමට හසුවූ අතර, අවසන් පන්දුවෙන් දකුණු අප්‍රිකාවට 5 වැනි කඩුල්ල අහිමි වූයේ ද දුවද්දි දැවී යෑමකිනි. පන්දු යැවීමේදී අචිනි කුලසූරිය කඩුලු 2ක් දවා ගත්තාය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය මේ 30 වැනිදා පොච්ෆ්ස්ට්රූම්හිදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු කාන්තා පිල – 198/5 (ඕවර 20) ලෝරා වොල්වාඩ්ට් 102, මැරිසාන් කාප් 60 (අචිනි කුලසූරිය 39/2)

ශ්‍රී ලංකා කාන්තා පිල – 119 (ඕවර 18.2) හර්ෂිතා සමරවික්‍රම 38, හසිනි පෙරේරා 30, අනුෂ්කා සංජීවනී 14 (ඇනරී ඩර්ක්සන් 15/2, ටුමි සේකුකුනේ 25/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT