Saturday, April 27, 2024
Home » මූලගිරි සඟ සමුළුව තෙලිජ්ජවිල ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහ විහාරයේදී අද

මූලගිරි සඟ සමුළුව තෙලිජ්ජවිල ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහ විහාරයේදී අද

by mahesh
March 29, 2024 1:00 am 0 comment

“මූලගිරි සඟ සමුළුව” මාතර තෙලිජ්ජවිල ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරයේදී අද (30) දිවයිනේ සතර දෙසින් පැමිණෙන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මූලගිරි විහාර පාර්ශ්වීය ආදි කර්තෘන් වහන්සේලා අනුස්මරණය කරමින් පාර්ශ්වීය භික්ෂූන් වහන්සේලා එක්රැස්කොට දැන හඳුනාගැනීම් වශයෙන් පැවැත්වෙන සඟ සතු දානමය පින්කමක් සමඟ සුහද හමුවක් ලෙස එදින උදෑසන 8.30 සිට මේ “මූල ගිරි සඟ සමුළුව“ ආරම්භ කෙරේ.

ශත වර්ෂ තුනකට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇති මූලගිරි සඟ පරපුර එක්රැස් කොට සංවිධිත භික්ෂූ සංවිධානයක්ව ඉදිරි ශාසනික කටයුතු සඳහා එක්ව කටයුතු කිරීම පිණිස සුහදතාව හා දැන හඳුනාගැනීම් ඇති කර ගැනීම සඳහාත් පාර්ශ්වීය ආදී කර්තෘවරයන් වහන්සේලා කෘතවේදීව සිහිපත් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු වේ.

හම්බෙගමුව මුතුමාල රජ මහා විහාරාධිපති කෝප්ප කන්දේ සුමනතිස්ස හිමියන් විසින් මූලාසනය හොබවන අතර මෙහෙයවීම රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොරකන්දේගොඩ අරියවංශ හිමියන් විසින් සිදු කරනු ලබයි.

මූලගිරි සඟ පරපුර හා ආදික‍ර්තෘන් වහන්සේලාගේ සේවාව මෙන්ම වර්තමාන පාර්ශ්වීය භික්ෂූන්ගේ වගකීම යන මැයෙන් මුඛ්‍ය දේශනය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි විසින් පැවැත්වීමට නියමිතය.

මේ සඟ සමුළුවේ කැඳවුම්කරුවන් වහන්සේලා ලෙස මුල්ගිරිගල රජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල, සාම විහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද, ඇල්ගිරිය කහල්විල්ගොඩ පුරාණ රජමහා විහාරාධිපති පරදුව ජිනරතන යන නා හිමිවරු කටයුතු කරති.

“මූලගිරි විහාර වංශය” යන මැයෙන් දෙහිගස්පේ ගුණානන්ද මහා නාහිමියෝ විසින් වසර 1949දී රචිත ග්‍රන්ථය තුළින්

මූලගිරි සඟ පරපුර පිළිබඳ ඉතිහාසය ලියැවී ඇති අතර ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරයේදී මේ සඟ සමුළුව පවත්වන්නේ ද උන්වහන්සේ වැඩසිටී විහාරස්ථානය සහ උන්වහන්සේට ගෞරව කිරීමක් ලෙසය.

මූලගිරි විහාර පාර්ශ්වය සහ එහි ඉතිහාසය සම්බන්ධයෙන් මෑත කාලයේදී ද “මූලගිරි මහා විහාර වංශය” මැයෙන් පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් විසින් රචනා කළ ග්‍රන්ථයෙන් වඩාත් පැහැදිලි සහ සංවිස්තර කිරීමක් සිදු කර තිබේ.

මේ වන විට බුදු දහමට සහ සඟ පරපුරට විවිධ ගැටලු සහ අභියෝග එල්ලවන හෙයින් එම අභියෝග හා තර්ජනවලට මුහුණ දීමට ශක්තිමත් සඟ පරපුරක් ඇති කර ගැනීමද මෙහි එක් අරමුණකි. මේ වන විට දිවයින පුරා මූලගිරි විහාර පාර්ශ්වයේ විහාර තිහක් පමණ ඇති අතර එහි එම පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලා හයසීයත් හත්සීයත් අතර ප්‍රමාණයක් වැඩ වාසය කරති. මූලගිරි සඟ පරපුරේ භික්ෂූන් වහන්සේලා වෙනත් සඟ පරපුර සමඟ සිටින බවත් උන්වහන්සේලාටද මේ අවස්ථාවට එක්වන ලෙසද මහා නාහිමිවරු ආරාධනා කරති. පාර්ශ්වීය භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත පරිදි කලක් අක්‍රීයව පැවති මූලගිරි සංඝ සභාව නැවත සක්‍රීය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙන මේ අවස්ථාවට වැඩම කරන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටී.

මේ තොරතුරු හෙළි වූයේ ඊයේ (28) කොළඹ හැව්ලොක් සාම විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. හැව්ලොක් සාම විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, මුල්කිරිගල රජමහා විහාරාධිකාරී කැකිරිඕබඩ සුමන, හැව්ලොක් සාම විහාරාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති රම්මල ධම්මරක්ඛිත, මාවිත්තර සිරි තිසරණ බෞද්ධ ආයතනාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමිවරුන් සහ සාම විහාරයේ දායක සභාවේ ලේකම් මාධ්‍යවේදී සිසිර විජේසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සුදත් මලවීර

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT