Saturday, April 27, 2024
Home » කෙටි කලකින් වැඩි පලදාවක් දෙන ප්‍රභේද වගාවට යොමු වීම වැදගත්

කෙටි කලකින් වැඩි පලදාවක් දෙන ප්‍රභේද වගාවට යොමු වීම වැදගත්

දාම්පෙ තැඹිලි නිපැයුම් ගම ඇරඹුමට එක් වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment
තැඹිලි ගම්මානයේ නාම පුවරුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරුණු අවස්ථාව. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය මාධවී හේරත්, සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙහි වෙති.

කෙටි කලක් තුළ වැඩි පලදාවක් ලැබිය හැකි ප්‍රභේද වගාව සඳහා යොදාගැනීමට අවධානය යොමු කළ යුතු අතර, නව තාක්ෂණය මුසු කරගත් ඇසුරුම් ක්‍රමවේද භාවිත කිරීම ඉතා වැදගත් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම දාම්පෙ ‘තැඹිලි නිෂ්පාදන ගම්මානය’ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට පෙරේදා (27) එක් වෙමිනි.

හෝමාගම සංවර්ධන කමිටු සභාපති, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය’ යටතේ මේ තැඹිලි නිෂ්පාදන ගම්මානය සථාපිත කරනු ලැබීය.

අපනයනය ඉලක්ක කරගත් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස රට පුරා ගම් 285ක් තෝරාගෙන ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිපැයුම් ගම්මානය ලෙස මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ හෝමාගම දාම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. මේ යටතේ ප්‍රමිතියෙන් යුතු තැඹිලි වගාව ප්‍රදේශයේ ප්‍රචලිත කිරීම සිදු කෙරෙනු ඇති අතර, ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද ගුණත්වයෙන් ඉහළ තැඹිලි පැළ ප්‍රදේශයේ ගොවි සංවිධාන, ප්‍රජා සංවිධානය ඇතුළු ගොවි පවුල් 100ක්‌ වෙත බෙදා දීමද සිදු කෙරිණි.

උත්සව සභාව අමතමින් ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද ප්‍රකාශ කළේය:

“රට තුළ ආරම්භ වන ඕනෑම ව්‍යාපෘතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස හෝ මේ ප්‍රදේශයට රැගෙන එන්න අප සැම විටම උත්සාහ කළා. ඒ අනුව කොළඹට සීමා වී පැවති කෘෂි ද්‍රව්‍ය වෙළෙඳපොළ රට පුරා විසුරුවා හැරීමේ පියවරක් වශයෙන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෝමාගම ප්‍රදේශයට ගෙන ඒමට අපට හැකි වුණා. මේ වන විට එවැනි ආර්ථික මධ්‍යස්ථාන රාශියක් රට පුරා ඇරඹී තිබෙනවා.

“ආසියාවේ විශාලතම ද්විතීයික පාසල ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ එවැනි පාසල් රාශියක් ශ්‍රී ලංකාව පුරා බිහි වුණා. පළමු මහින්දෝදය විද්‍යාගාරය මේ ප්‍රදේශයේ පිහිටුවීමෙන් අනතුරුව රට පුරා එවැනි විද්‍යාගාර දහසක් ඇති වුණා.

“අද පටන් මේ ප්‍රදේශයේ ජීවත් වන පවුල් 850කට අධික ප්‍රමාණයකට නිසි මඟ පෙන්වීමක් සහිතව අපනයනයට සුදුසු ආකාරයෙන්, ක්‍රමානුකූලව තැඹිලි වගා කිරීමේ සියලු පහසුකම් සැලසෙනවා. ඒ නිෂ්පාදන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය මඟින් එක් රැස් කිරීමේ පහසුකම් පවතිනවා. ග්‍රාමීය කර්මාන්ත ඇමැතිවරයා ලෙස මා එදා ඇති කළ පානලුව කර්මාන්ත ගම්මානයේ අපනයනය සඳහා තැඹිලි වතුර සැකසුම් කරන කර්මාන්ත ශාලාවක් ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය ගුණත්වයෙන් යුතු තැඹිලි නිෂ්පාදනය කිරීමේ පහසුකම මේ ප්‍රදේශයේ පවතිනවා.

“මෙවැනි නිෂ්පාදන ඉතා අඩු මිලට වෙළෙඳපොළට යොමු කිරීමෙන් නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. ඒ සඳහා ස්ථාවර ක්‍රමානුකූල මිලක් ඇති කරගත හැකි වන්නේ අදියරෙන් අදියර වෙළෙඳපොළ රැකගනිමින් ක්‍රමානුකූලව ඉහළ මිලක් කරා ගමන් කිරීමෙන් පමණයි.

“ශ්‍රී ලංකාවට සිටින විශාලතම තැඹිලි කර්මාන්තයේ තරගකරුවා වන්නේ තායිලන්තයයි. ඔවුන්ගේ පොල් වතුර සහ තැඹිලි වතුර අඩු මිලට එකතු කළ අගයක් සහිතව විදේශ වෙළෙඳපොළවල අලෙවි වනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පොල් වතුර සහ තැඹිලි වතුර විදේශීය වශයෙන් අලෙවි කරනු ලබන්නේ ප්‍රමුඛ පෙළේ එක් සමාගමක් පමණයි.

“ප්‍රවාහනය වැනි සාධක පිළිබඳවද අවධානය යොමු කරමින් අපනයනය ඉලක්ක කරගත් වෙළෙඳපොළ සකසා ගැනීමේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර කෙටි කලක් තුළ වැඩි ඵලදායිතාවක් ලැබිය හැකි ප්‍රභේද වගාව සඳහා යොදා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම නව තාක්ෂණය මුසුකරගත් ඇසුරුම් ක්‍රමවේද භාවිත කිරීමත් ඉතා වැදගත්.”

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය මාධවී හේරත්, සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහත්ම මහත්මීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, මහින්ද අම­ර­වීර ඇමැ­ති­ව­රුන් වගා­ක­රු­වකු වෙත තැඹිලි පැළ­යක් 
පිරි­නැමූ අයුරු

ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, මහින්ද අම­ර­වීර
ඇමැ­ති­ව­රුන් වගා­ක­රු­වකු වෙත තැඹිලි පැළ­යක්
පිරි­නැමූ අයුරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT