Saturday, April 27, 2024
Home » 750කට මාසිකව 10,000 බැගින් දීමනා ක්‍රීඩා 23ක අවුරුද්දක වියදම කෝටි 9යි
‘ක්‍රීඩා ශක්ති’ට යළි පණ එයි

750කට මාසිකව 10,000 බැගින් දීමනා ක්‍රීඩා 23ක අවුරුද්දක වියදම කෝටි 9යි

by sachintha
April 10, 2024 2:36 am 0 comment

‘ලොව දිනන ක්‍රීඩා ශක්ති’ වැඩසටහන යටතේ රට පුරා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750ක් තෝරා ඔවුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් රුපියල් 10,000ක මාසික දීමනා ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කරයි. එහි පළමු දීමනාව පසුගිය සතියේ ප්‍රදානය කළ අතර, වාර්ෂිකව ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති’ වැඩසටහන යටතේ කෝටි 9ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කගේ පුහුණු කටයුතු වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කර තිබේ.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙයට මාස කිහිපයකට පෙර තනතුරට පත්වූ වහාම ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති’ වැඩසටහන සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් ලබාදී ඇත. ඒ අනුව පසුගියදා එහි පළමු අදියරේ මුදල් ප්‍රදානය සිදු කිරීමට හැකියාව ලැබී ඇත.

“ක්‍රීඩා 23ක් වෙනුවෙන් දක්ෂයන් තෝරා ගැනීමට පුවත්පත් මඟින් දැන්වීම් පළ කළා. ඒ අනුව අයදුම්පත් 5,000ක් පමණ අපට ලැබුණා. විශේෂඥ කමිටුවක් මඟින් වඩාත්ම දක්ෂ දරුවන් 750ක් තෝරා රුපියල් 10,000ක මාසික දීමනා ප්‍රදානය කිරීමට කටයුතු කළා. මේ මුදල් ලබාගෙන රට වෙනුවෙන් කීර්තියක් ගෙනදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කළ යුතුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ අප වරින් වර සොයා බලනවා. මේ මුදලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය අත්වැලක් සැපයීම අරමුණයි” ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මලල ක්‍රීඩා (120ක්), මල්ලවපොර (37ක්), පිහිනුම් (53ක්), පාපැදි (12ක්), කරාතේ දෝ (30ක්), බොක්සිං (26ක්), කැනොයින් හා කායකින් (17ක්), කබඩි (40ක්), හොකී (38ක්), වුෂූ (31ක්), ජිම්නාස්ටික් (26ක්), ටයිකොන්ඩෝ (26ක්), දුනුවිදීම (9ක්), බාස්කට්බෝල් (33ක්), මේස පන්දු (31ක්), වෙඩි තැබීම (12ක්), වොලිබෝල් (52ක්), ස්කොෂ් (19ක්), නෙට්බෝල් (28ක්), ජූඩෝ (35ක්), ඔරු පැදීම (11ක්), බර ඉසිලීම (38ක්) හා බැඩ්මින්ටන් (26ක්) මාසික දීමනා ප්‍රදානය කිරීමට තොරාගත් ක්‍රීඩා වේ.

මේ ක්‍රීඩා ශක්ති වැඩසටහනට අමතරව උසස් දක්ෂතා සංචිතයේ පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් මේ වසරේ වැය කිරීමට කටයුතු යොදා ඇත. එම උසස් දක්ෂතා සංචිතයේ දැනට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 54ක් පුහුණුවීම් සිදුකරන අතර. එය මේ වසරේ 100ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කොට ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් ලක්ෂයේ සිට පනස්දහස දක්වා කාණ්ඩ කිහිපයක් යටතේ මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

මේ වසරේදී ක්‍රීඩා සංගම් යටතේ ක්‍රියාත්මකවන ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය, ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන 277ක් වෙන්කර තිබේ. එම ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගතිය අනුව මුදල් ප්‍රදානය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT