Saturday, April 27, 2024
Home » ශ්‍රී ලංකාවේ කෘෂි නිපැයුම්වලට ලෝකයේ ඉහළ තැනක් හිමියි – නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාච්

ශ්‍රී ලංකාවේ කෘෂි නිපැයුම්වලට ලෝකයේ ඉහළ තැනක් හිමියි – නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාච්

by sachintha
March 28, 2024 2:09 am 0 comment

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළහි ඉහළ ඉල්ලුමක් ඇති බවත්, ඒ වෙළෙඳපොළ නතු කරගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්‍යාපාරිකයන්ද උනන්දු විය යුතු බවත් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාච් මහත්මිය පැවසුවාය. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය දීමට තම රට සූදානම් බවද ඇය පැවසුවාය.

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්‍රිතව තාක්ෂණික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ තානාපතිනිය අතර පෙරේදා (26) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු සාකච්ඡාවේදී තානාපතිනිය මේ බැව් අවධාරණය කළාය. නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික අංශ පිළිබඳව උපදේශක මිචයිල් වැන් ඊකල් මහතාද මේ සාකච්ඡාවට එක් විණි.

විශේෂයෙන් නෙදර්ලන්තය විසින් දැනට භාවිත කරන නව කෘෂි තාක්ෂණය හා පුහුණුව පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මේ වන විටත් පවත්වාගෙන යන පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය. එම පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමටත් පුහුණුව ලබන සිසු පිරිස ඉහළ නැංවීමට පියවර ගැනිමත් සම්බන්ධවද සාකච්ඡා කෙරිණි.

නෙදර්ලන්තයට විසිතුරු මල් ආනයනය වැඩිපුරම කෙන්යාවෙන් සිදු කරන අතර ඒ සඳහා අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි බව ද තානාපතිතුමිය පැවසුවාය. විශේෂයෙන් ශ්‍රී ලංකාව යනු මල් වගාවට ඉතා හොඳ ශක්‍යතාවක් ඇති රටක් වන හෙයින් ශ්‍රී ලංකාව විදේශ රටවල සිට මල් ආනයනය කිරීම ගැන තානාපතිනිය සිය කනගාටුව පළ කළාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ කුළුබඩු වන ගම්මිරිස්, කෝපි, කුරුඳු හා කරඳමුංගු යනු ලොව අංක එකේ කුළුබඩු බවත් ඒවා අපනයනය සඳහා වැඩිපුර වගා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද තානාපතිනිය පැවසුවාය.16, 17 වන සියවස්වල දී ඔලන්ද ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ ශ්‍රී ලංකාවේ කුළුබඩු නිසා බව සිහිපත් කළ තානාපතිනිය එතැන් සිට මේ දක්වා තවමත් ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ අංක එක ස්ථානයෙහි පැවතීම ගැන තම සතුට පළ කළාය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ කෝපි සහ කුරුඳු වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා මෙවසරේදී විශාල මුදලක් රජය වෙන් කර ඇති බවයි. එමෙන්ම කෘෂි අංශයේ නවීන තාක්ෂණය සඳහා ගොවීන් පුහුණු කිරීමට අවශ්‍ය පුහුණුකරුවන් සඳහා පවත්වන පුහුණු පාඨමාලාවලට නෙදර්ලන්ත රජයේ සහයෝගය දීම ගැනද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. කෘෂි අංශ නවීකරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT