Saturday, April 27, 2024
Home » යොවුන් කාන්තා තුන්කොන් සටන අද හම්බන්තොටදී ඇරඹෙයි

යොවුන් කාන්තා තුන්කොන් සටන අද හම්බන්තොටදී ඇරඹෙයි

පළමු තරගයට ශ්‍රී ලංකාව-ඔස්ට්‍රේලියාව

by sachintha
March 28, 2024 2:11 am 0 comment

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව සමඟ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්වන තරගාවලිය ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මේ තරගාවලිය විස්සයි20 සහ එක්දින ආකෘති ද්විත්වයෙන්ම පැවැත්වීම විශේෂත්වයකි. ඒ අනුව 3 වැනිදා දක්වා හම්බන්තොටදී විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එහිදී සෑම කණ්ඩායමක්ම තරග 4ක් ක්‍රීඩා කළ යුතුය. අනතුරුව ලබන මස 5 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එහිදී එක් කණ්ඩායමක් තරග 2ක් ක්‍රීඩා කළ යුතු වෙයි.

මේ තරග සියල්ල අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව පිරිනැමෙනු ඇත. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිල අද පෙරවරු 10.00ට ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු තරගයට එක් වෙයි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් මේ තරගාවලිය සංවිධාන කර ඇති අතර, යොවුන් කාන්තා ක්‍රිකට් පිටියේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙකක් සමඟ තරග කිරීම ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට උපකාරීවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වී තිබේ.

මේ අතර මේ තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මොරටුව වේල්ස් කුමරි විදුහලේ ක්‍රීඩිකා මනුදි නානායක්කාරට හිමිව ඇත. මාතර අනුර විදුහල් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කර ඇති අතර, සංචිතයට ක්‍රීඩිකාවෝ 16 දෙනකු එක්ව සිටිති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් වරට බංග්ලාදේශයේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියට එක් වූ අතර, එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. එවර තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න ද එක්ව සිටි අතර, ජාතික කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙන් ඇය මේ තරගාවලියට එක් නොවේ.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය – මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ශෂිනි ගිම්හානි, රිස්මි සංජානා, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, දහමි සනෙත්මා, විශ්මි සවිඳි, අෂානි කෞශල්‍යා, යසන්ති නිමන්තිකා, නෙත්මි සේනාරත්න, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා.

තරග කාලසටහන

විස්සයි20

අද (28): ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව හම්බන්තොටදී

හෙට (29): ඔස්ට්‍රේලියාව – එංගලන්තය හම්බන්තොටදී

මාර්තු 30 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය හම්බන්තොටදී

අප්‍රේල් 1 දා: ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව හම්බන්තොටදී

අප්‍රේල් 2 දා: ඔස්ට්‍රේලියාව – එංගලන්තය හම්බන්තොටදී

අප්‍රේල් 3 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය හම්බන්තොටදී

එක්දින තරග

අප්‍රේල් 5 දා: ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව ගාල්ලේදී

අප්‍රේල් 7 දා: ඔස්ට්‍රේලියාව – එංගලන්තය ගාල්ලේදී

අප්‍රේල් 9 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය ගාල්ලේදී

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT