Saturday, April 27, 2024
Home » නිෂ්පාදන ආර්ථිකයක් සවිමත් නොකර රටක ආර්ථික සංවර්ධනයක් කළ නොහැකියි

නිෂ්පාදන ආර්ථිකයක් සවිමත් නොකර රටක ආර්ථික සංවර්ධනයක් කළ නොහැකියි

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි සශිකා ද සිල්වා

by sachintha
March 28, 2024 2:21 am 0 comment

මේ මොහොතේ බලධාරීන් කළ යුත්තේ ආර්ථිකයේ වර්ධනයට දිරිදීමයි.

දේශීය ව්‍යවසායකත්වය නොවැටෙන්නට වග බලා ගත යුතුයි.

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය උදෙසා විශේෂ නිලධාරීන් මූල්‍ය අරමුදලෙහි කටයුතු කරනවා

උත්පාදනය වන යන්ත්‍රණයක් තැනෙන ආකාරයකට බදු මුදල් යෙදවිය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රධාන පිරිස ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔබ අප නොසිතන මානයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව සාර්ථකත්වයෙන් ඉහළට රැගෙන යාමට හැකිය. නමුත්, ඒ හැකියාව අප කෙසේ භාවිත කළ යුතුද? යනාදී කරුණු කාරණා සම්බන්ධයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි සශිකා ද සිල්වා සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාව මෙසේ දක්වමු.

 

l ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත පිරිස සමඟ සාකච්ඡාවට ඔබ සංගමයට අවස්ථාවක් ලැබුණාද?

අපට ඒ සඳහා ඉතිහාසයේ පළමු වතාවට අවස්ථාවක් ලැබුණා.

l ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමු වතාවට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන් වන අප සමඟ මාර්තු මස 19 වැනි දින ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡාවක් සිදු කළා. මෙහිදී අපි කරුණු පැහැදිලි කිරීම් ගණනාවක් කළා. යුද්ධයෙන් ආර්ථිකයට හා සමාජයට සිදු වූ පසුබෑමෙන් පසුව උදා වූ අඛණ්ඩ ව්‍යසන හමුවේ නොයෙක්වර අසාර්ථක මූල්‍ය කළමනාකරණයේ බලපෑම ද සමඟින් අප ඉන්නේ. අපේ රට මේ මොහොතේ 17 වැනි වතාවටත් මූල්‍ය ආධාර සපයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙනවා. එවන් පිරිසක් සමඟ ඉතිහාසයේ පළමු වතාවට සාකච්ඡා කිරීම වැදගත් වුණා.

l ඇයි ඔබ එසේ කියන්නේ?

මේතාක් කිසිදු අවස්ථාවක සිදුනොවූ, බිම් මට්ටම වෙත සමීප වෙමින් සිදු වූ මෙම හමුවීම පවත්නා වූ දැවැන්ත අභියෝග හමුවේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරන බව ඉතිහාසය සාක්ෂි දරනවා ඇති. 16 වතාවක් අරමුදලින් පෝෂණය කළත් රට බංකොලොත් බව ප්‍රකාශ කරමින් තවදුරටත් මෙම අසමත් යන්ත්‍රණය යටතේ නම් 17 වැනි වතාවටවත් දියුණුවක් අපේක්ෂා කරනවා. එවැනි වාතාවරණයක් යටතේ මේ හමුව වැදගත්.

l  16 වතාවක් අයි.එම්.එෆ්. ගියත් අපට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වීමට බලපෑ හේතු මොනවාද?

මේ සඳහා බලපෑ නොයෙකුත් හේතූන් තියෙනවා. මේ සඳහා සාධනීය ලෙස බලපෑ අවිධිමත් හා දෙබිඩි බදු කළමනාකරණය සහ සමහර අපිරිසිදු පාලන ව්‍යුහයන් ප්‍රධාන ලෙස බලපානවා. සමහර බැංකු සහ මූල්‍ය පද්ධති මෙම අසමත් ක්‍රමවේදයේම කොටස්කරුවෝයි. ඔවුන්ගෙන් යහපත් යන්ත්‍රණයක් බලාපොරොත්තු විය හැකි දැයි ප්‍රශ්නාර්ථයක්. එබැවින් කවුරු කෙසේ කීවත් කොතරම් අරමුදල් සැපයුවද නිවැරැදි විනිවිද යන්ත්‍රණයකින් තොරව අපේක්ෂා කරනු ලබන සාර්ථකත්වය අසලටවත් යාමට නොහැකියි.

l ඔබලා නියෝජනය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. අපේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් නියෝජනය කරන්නට විවිධ සංවිධාන තිබෙනවා. නමුත් ඒවායෙන් සතුටුදායක සේවාවක් සාමාජිකයින්ට හෝ රටට සිදුවනවාද?

අපි වාගේ රටවල වාණිජ මණ්ඩල වෙත පැවරෙන කාර්යභාරය බොහෝයි. වාණිජ මණ්ඩල බිම් මට්ටම ගැන අනවබෝධයෙන් වාගේම කිසිදු වගවීමක් නොමැතිව අසමත් යන්ත්‍රණයක් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සිටිනවාදැයි සැක සහිතයි. මේ නිසා සමස්ත ව්‍යවසායකත්වය වළපල්ලටම යවමින් සිටි බවට චෝදනාවකුත් ඔවුන්ට නැඟෙනවා. එයට හේතුව සමහර වාණිජ මණ්ඩල නියෝජිතයන්ද මෙම අසමත් යන්ත්‍රණයේ සාමාජිකයින් විමත් තම ආයතන තුළින්ම සම්බන්ධ වී මණ්ඩල මෙහෙයවීමත් නිසායි. මේ වායේ අපක්ෂපාති ස්වාධීන කිසිවෙක් බොහෝ තැන්වල දැකිය නොහැකියි. ව්‍යවසායකත්ව පදනම විනාශ වනවිට බැංකු හා මූල්‍ය පද්ධතිය පැවතිය නොහැකි බවට ඔවුන්ට වැටහීමක් නැහැ.

l මෙය ඔබ ප්‍රකාශ කරන්නේ වගකීමෙන්ද?

ඔව්, වසර 2022 හා 2023 වසර තුළ ප්‍රධාන ව්‍යාපාර නාමාවලිය බලන්න. එය බැංකු හා මූල්‍ය ආයතනයන්ගෙන්ම පිරි පැවතීම තුළින් අපට යමක් පැහැදිලියි. අනෙකුත් නිෂ්පාදන ආර්ථිකයට දායක වන ව්‍යවසායකයන්ට ඒ තුළ ඉඩක් ලැබී නැහැ. ඉන් කියවෙන්නේ ඔවුන්ට අත්ව ඇති ඉරණමයි. නිෂ්පාදන ආර්ථිකයකට දායකවන්නන් ව්‍යවසාය සාර්ථකත්වයේ කොටස්කරුවන් විය යුතුයි. පසුගිය දශක තුනක කාලය පුරාවටම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායන් පවත්වා ගැනීම විශාල අභියෝගයක් වුණා. මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණය ලබාදුන් සහය පිළිබඳව සතුටුදායක තත්ත්වයක් නැහැ. ව්‍යවසායන් වෙත එල්ල වන බලපෑම අතීතය හා සැසඳීමේදී වෙන කවරදාටත් වඩා මෑත කාලයේදී අති මහත්. නව ව්‍යවසායකයෙකු බිහිවනු තබා පවත්නා වූ ව්‍යවසාය හැර දමා විකල්ප තෝරා ගැනීමට දැනට ක්‍රියාත්මක ව්‍යවසායකයෝ උත්සුක වෙනවා. රටක මෙවැනි අසමත් යන්ත්‍රණයක් සමඟ ව්‍යවසායකයන්ගේ දියුණුවක් තබා පැවැත්මක් හෝ නොමැති බව කිව යුතුයි. බදු රැස්කිරීම, ණය පියවීම, යහපත් සමාජයක් පවත්වා ගැනීම කිසිසේත්ම කළ නොහැකියි.

l මේ මොහොතේ බලධාරීන් කළ යුත්තේ කුමක්ද?

මේ මොහොතේ බලධාරීන් කළ යුත්තේ ආර්ථිකයේ වර්ධනයට දිරි දීමයි. ආර්ථිකය හැකිළවීමට ප්‍රයත්න නොගෙන එය පුළුල් කිරීමට කටයුතු කළ යුතුයි. දේශීය ව්‍යවසායකත්වය කබලෙන් ලිපට නොවැටෙන බවට වග බලා ගත යුතුයි. අපට පුදුමය වන්නේ රටක් ලෙස අප අසමත් වීමට හේතු, මෙම අසමත්කම පැහැදිලි කරන, ප්‍රකාශ කරන කිසිදු ආයතනයක් දක්නට නොලැබීමයි. ඒ නිසාම අගතියට හසුව ඇති සමස්ත ව්‍යවසාය හා සංවිධාන උදෙසා වේදිකාවක් අලුතින් තැනීමට සිදු වී තිබෙනවා. අප කණ්ඩායමක් ලෙස මේ වෙනුවෙන් පෙනී සිටිනවා.

l ඔබ වැනි පිරිස්වලට රජයෙන් හා රජයට සම්බන්ධ පිරිසගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

අවංකවම කියනවා නම් රජයේ පැත්තෙන් අපට දුක කියන්නට සිටින්නේ බොහොම ටික දෙනයි. කෙසේ වෙතත්, මේ සඳහා පවත්නා රජයේ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාත්, කර්මාන්ත හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ඇමැතිතුමාත් මේ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්විම අපගේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සාර්ථකත්වයේ සිහිනය සැබෑ වීමට මහඟු අත්වැලක් වන බව කිව යුතුයි.

l ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ව්‍යවසායකත්ව වටිනාකම හඳුනා ගැනීමට උත්සාහ කර තිබේද?

පෙර සඳහන් කළ පරිදි මේතාක් ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව වටිනාකම හඳුනා ගැනීමට රාජ්‍ය හා අනෙකුත් ආයතනයන්ට නොහැකිවුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිම්මට්ටම වෙත ගෙනයාමටත් වටිනාකම අවබෝධ කරවිමටත් හැකිවීම අප රට වෙනුවෙන් ලද භාග්‍යයක්. මෙහිදී කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය උදෙසා විශේෂ නිලධාරීන් පවා මූල්‍ය අරමුදලෙහි ක්‍රියාත්මක වනවා. ඒ බව අප දැන ගත්තේ ඔවුන් සමඟ මෙම සාකච්ඡාවට ගිය මොහොතේදීයි.

l ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඔබ ගියේ කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් සහිතවද?

ඔව්, අප ඔවුන් සමඟ සාකච්ඡාවට ගියේ නිශ්චිත වැඩපිළිවෙළක් සහිතවයි. එබැවින් මේතාක් කතා බහ නොවුණු බොහෝ දේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කිරීමට අපිට හැකි වුණා. රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% දායකත්වයක් සපයමින් ශ්‍රී ලාංකීය ආර්ථිකයට කරනු ලබන විශිෂ්ට මෙහෙවර ගැන අපි කතා කළා. ආර්ථිකය පමණක් නොව රැකියා උත්පාදනය කරවමින්, දේශීය ඉතුරුම් තැන්පතු පවත්වා ගනිමින්, දුප්පත්කම තුරන් කිරීමට දායක වෙමින්, ප්‍රාදේශීය මට්ටමේ දියුණුවට උරදෙමින්, පෞද්ගලික ආයෝජන ද යොදවමින් හා අපනයන ආදායම පවත්වා ගනිමින් සිදුකරනු ලබන සමාජයීය, හා පාරිසරික ගුණාත්මක බව ඇති කරවීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයෙන් විශාල පිටුබලයක් ලැබෙනවා.

l රටක් දියුණු කිරීමට තිබිය යුතු ගුණාංග පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යම් දැක්මක් තිබේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සහ විශ්වාසය අනුව නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය හා දියුණු කිරීමකින් තොරව රටක ආර්ථික සංවර්ධනය කළ නොහැකි බව ඔවුන් සමඟ සාකච්ඡාවේදී අපට වැටහුණා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ණය දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරවීමට මිස කඩා වැට්ටවීමට නොවේ. කඩා වැට්ටවීමට වත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට මේ මොහොතේ නොමැති බව පැහැදිලියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සිදුව ඇත්තේ හා පහසු නොවන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයක් නිසා නොව අපගේ මූල්‍ය අක්‍රමිකතා හා දූෂිත යන්ත්‍රණය නිසාවෙන් බව අපට හැඟුණා.

l රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට නම් පුරවැසියන්ගේ වගකීම කුමක් විය යුතුද ?

රජයට ලැබෙන බදු මුදල් විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය වියදම් ගෙවීම සඳහා යොදා ගත යුතුයි. නිසි ආදායම් උත්පාදනය වන යන්ත්‍රණයක් තැනෙන ආකාරයකට බදු මුදල් යෙදවිය යුතුයි. ආයෝජනය කළ යුතුයි. කෙතරම් මුදල් සහන ලෙස ලැබුණත් නිවැරැදි යන්ත්‍රණයක් නොමැතිව පිරිසිදු පද්ධතියක් නොවන්නට මේ කිසිදු සහනයක් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසාය වෙත නොලැබෙනවා. එවන් තත්ත්වයක් තුළ රටක් ලෙස අපට සිදුවනුයේ 18 වන වතාවටද මූල්‍ය අරමුදල වෙත යාම පමණයි. ආදායම් උපද්දවීම උදෙසා ව්‍යවසායක ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි.

l එසේ නොකළහොත් සිදු වන්නේ කුමක්ද?

එසේ නොකළහොත් රටක් ලෙස අපට ඉදිරියට යාමට නොහැකියි. හැමදාම ණය මත යැපීමට සිදු වේ. එසේ නොකළහොත් ආදායම් උපද්දවීමක් තබා ව්‍යවසායකත්වයක් හෝ රට තුළ ඉතුරු නොවනු ඇති. ප්‍රතිඵලය වන්නේ නිසි පරිදි බදු එකතු කර ගැනීමට නොහැකි වීමයි. බදු එකතු කිරීමෙන් පමණක්ම රට පවත්වාගෙන යා නොහැකියි.

l එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

අප කළ යුත්තේ අපනයන නිෂ්පාදිත ආර්ථිකයක් උදෙසා ක්ෂුද්‍ර, කුඩා මධ්‍යම ව්‍යවසායකයෝ ජාලගත කිරීම අපේ සැපයුම් ජාලය නිවැරැදිව ගොඩනැඟීමට ක්‍රමවත්, සත්‍ය ලෙසම වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අද රට තුළ ව්‍යාපාරික ප්‍රජාව ලෙස ප්‍රධානව දැකිය හැක්කේ පවත්නාවූ රජයන්ගේ සාරය උරාබොමින් පෝෂණයවූ ඒ වටා රැඳී සිටිමින් පහසුකම් භුක්ති විඳින කණ්ඩායමක්. මා එසේ කියන්නේ නිදහස්ව තනිවම යාහැකි ව්‍යවසායකයන් බිහි කළ යුතු බව දැඩිව අවධාරණය කරමිනුයි.

l ව්‍යවසායක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පවතින දැවැන්තම අභියෝගය වන්නේ කුමක්ද?

කිසිදු බැංකුවක ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවබෝධයක් ඇත්තවුන් සිටිනුයේ සුළු වශයෙන්. සියලු නිලධාරීහු යළි අත්පත් කරගැනීමට හා පාඩුව පියවා ගැනීමටම පමණක්ම දක්ෂ නිලධාරීහු වෙනවාදැයි අපට සැක සිතෙන තරම්. එනිසාම අප කොතරම් ඉල්ලීම් කළ ද ප්‍රතිව්‍යුහගතකරණ කාර්යභාරය නොසලකමින් පවතිනවා පමණක් නොව කතා බහ කිරීමක්වත් සිදු වන්නේ නැති තරම්. මහ බැංකුව සහ රජය මෙම කර්තව්‍යය සඳහා සූදානම් බව නිරූපණය කිරීම ප්‍රථමයෙන් සිදු කළ යුතුයි.

l ඔබට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෞද්ගලිකව ආරාධනා කළ හේතුව කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිම් මට්ටමට ගෙන යාමට විවරවූ මේ අවස්ථාව සැබවින්ම ශ්‍රී ලාංකික ඉතිහාසයේ වාර්තාවක් ලෙස සනිටුහන් වනු ඇත. අපගේ අවංක අභිප්‍රාය වූයේ නිවැරැදි වැඩපිළිවෙළක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කර තවදුරටත් 18 වන වතාවක් ජාතියක් ලෙස මේ හිඟමනේ නොයෑමයි. එපමණක් නොව තවදුරටත් අප හා සමීපව කටයුතු කිරීමට ඔවුන්ගේ ඕනෑකම අපි අගය කරනවා.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT