Home » චමල් හම්බන්තොටටම ‘ ආදර්ශ ජනසභා ‘ ක්‍රමය ඉල්ලයි

චමල් හම්බන්තොටටම ‘ ආදර්ශ ජනසභා ‘ ක්‍රමය ඉල්ලයි

by chanaka
April 16, 2024 4:38 pm 0 comment

හම්බන්තොට මිරිජ්ජවිල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙන දැනට ක්‍රියාත්මක වන ආදර්ශ ජනසභා ක්‍රමය හම්බන්තොට දිස්ත්‍රික්කයට ම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර තිබේ.

ඒ පසුගියදා (09) පැවති හම්බන්තොට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම හමුවට ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේ දීය.

එම රැස්වීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි ජනසභා ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන අධ්‍යක්ෂ (මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන) නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා සහ ව්‍යාපෘති උපදේශක රෂි චන්ද්‍රනාත් මහතා සහභාගී වූ අතර එම රැස්වීම හම්බන්තොට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ සහ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්.විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

එහිදී මිරිජ්ජවිල ආදර්ශ ජනසභාව විසින් ඉදිරිපත් කර තිබු ග්‍රාම සංවර්ධන සැලැස්ම දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල ආයතන සම්බන්ධ කරගනිමින් ක්‍රියාමාර්ග ගැනීම එදිනම ආරම්භ කිරීම විශේෂ කරුණක් විය.

හම්බන්තොට මිරිජ්ජවිල ආදර්ශ ජනසභාව සාර්ථකව ක්‍රියාත්මක වන හේතුවෙන් පළමුව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු වසම් සඳහා ද අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාමත් ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් ඒ හරහා ප්‍රදේශයේ ග්‍රාමීය සංවර්ධනය සහ ගම ගොඩනැගීමේ ක්‍රියාවලිය වඩා ජනතාවාදී කල හැකි බව හම්බන්තොට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී වැඩිදුරටත් පැවසිය.

මෙම කටයුතු නිරීක්ෂණය සහ නියාමනය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය විසින් කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT