Home » ජනපති ගොඩදැමූ රට තවත් ශක්තිමත් කිරීමට තලතා-හර්ෂ-කබීර්-ඉරාන්ට එජාපයට එන්නැයි ආරාධනා

ජනපති ගොඩදැමූ රට තවත් ශක්තිමත් කිරීමට තලතා-හර්ෂ-කබීර්-ඉරාන්ට එජාපයට එන්නැයි ආරාධනා

-එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

by sachintha
April 17, 2024 1:46 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනඟන රට තවත් ශක්තිමත් කිරීමට එක් වන ලෙස සමඟි ජන බලවේගයේ තලතා අතුකෝරල, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා:

“රටම එකට එක්කාසු වෙලා බොහොම සන්තෝෂයෙන් සහයෝගයෙන් මේ අලුත් අවුරුද්ද සැමරුවා කියන එක රටවාසී සියලු දෙනාම පිළිගන්නා කාරණයක්. එවැනි තත්ත්වයක් ඇති වුණේ කොහොමද කියා අප මොහොතකට සිතන්නට ඕනෑ. 2022 වසර වන විට අවුරුද්දක් සමරන්න පුළුවන් රටක් නොවෙයි මෙහි තිබුණේ. පෝලිම් යුගයක් ආරම්භ වෙලා, තෙල් ටික ගෑස් ටික ඉන්ධන ටික නැතිව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නැතිව, සියලු රට වැසියන් ගින්දරේ දැවි දැවී ඉන්න යුගයක් අප පසු කර තිබෙන්නේ. අවුරුදු දෙකයි ගෙවී තිබෙන්නේ. 2024 අලුත් අවුරුද්ද සමරන මොහොත වන විට එවැනි ගිනි ගත් දේශයක් සුවපත් දේශයක් බවට පරිවර්තනය කරන්න සමත් වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය නිසයි. ලෝකයේ කිසිම රටක් මේ තරම් වේගයෙන් වැටුණු තැන ඉඳලා නැඟිටලා නැහැ. ඒක අප නෙවෙයි ආසියානු සංවර්ධන බැංකුවත් ප්‍රකාශ කර තිබෙනවා. “සමඟි ජන බලවේගය හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා කිවුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියලා. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ දක්වා මේ නායකයන් ගෙනාපු මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඔහු ආරක්ෂා කරනවා ඔහු ඉදිරියට ගෙනයනවා කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ උදවියට සජිත් ප්‍රේමදාස කිවුවේ. හැබැයි අද ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයනවාද කියන එක සජබේ ඉන්න අපේ හිතවතුන් සියලු දෙනා සිහි බුද්ධියෙන් කල්පනා කර බලන්න ඕනෑ.

“ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වගේ කිහිප දෙනකු අතට මේ පක්ෂය ගිහින් තිබෙනවා. අද සජිත් ප්‍රේමදාස සමඟි ජන බලවේගයේ නායකයා හර්ෂලා, ඉරාන්ලා, කබීර්ලා, තලතලා වගේ අය තුට්ටුවකට මායිම් කරනවාද? එහෙම නම් තමන් මායිම් නොකරන තැනක ඔබ කුමට රැඳී සිටිනවාද? අලුත් අවුරුද්දේ මම ඔබට කියනවා: හොඳ ප්‍රාර්ථනා එක්ක එකතු වෙන්න. තලතා, කබීර්, හර්ෂ, ඉරාන්, රනිල් වික්‍රමසිංහයන් සමග අතිනත ගන්න. අරගෙන මේ ගොඩනඟාගෙන යන රට තව ශක්තිමත් කරන්න එකතු වෙන්න.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT