Home » දිසා විනිසුරු-SI දෙමස්සිනා දබරයෙන් දිසා විනිසුරු බිරියට දිවි අහිමි වෙයි
බළල් සුරතලාගේ ප්‍රශ්නයට

දිසා විනිසුරු-SI දෙමස්සිනා දබරයෙන් දිසා විනිසුරු බිරියට දිවි අහිමි වෙයි

by sachintha
April 17, 2024 1:46 am 0 comment

දකුණේ අධිකරණයක සේවයේ නිරත දිසා විනිසුරුවරයකුට පහර දීමක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකුව අක්මීමණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වීමේදී කම්පනයට පත්වූ දිසා විනිසුරුවරයාගේ බිරිය හෘදයාබාධයකින් මියගොස් ඇති බව අක්මීමණ පොලිසිය කියයි.

දිසා විනිසුරුවරයා විවාහ වී සිටින්නේ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරිය සමඟ බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම දිසා විනිසුරුවරයා සිය බිරිය සමඟ බිරියගේ මව පදිංචිව සිටින ගාල්ලේ පිහිටි නිවෙසට පසුගියදා (13) අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගොස් ඇත. ඔවුන් සිය නිවෙසේ සුරතලයට ඇති කරනු ලබන බළලකුව ද ඔවුන් ඒ යන විට වාහනයේම දමාගෙන රැගෙන ගොස් තිබේ. අවුරුද්ද සමරා ඔවුන් නැවත 14 වැනිදා මහගෙදරින් පිටත් වීමට සූදානම් වී ඇත්තේ රාත්‍රී කාලයේය. නිවෙසින් පිටත්ව සිය නිවෙස වෙත ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී රැගෙන පැමිණි සුරතල් බළලාව සොයා ඇත්තේ රැගෙන යෑමටය‍. ඒ වන විට බළලා නිවෙසේ නොසිටි බැවින් ගමන පසෙකලා විනිසුරුවරයාත් බිරියත් නිවැසියනුත් බළලාව සොයන්නට පටන්ගෙන තිබේ.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සහ ඔහුගේ මස්සිනා වන උප පොලිස් පරීක්ෂකවරයා අතර ආරවුලක් ඇති වී තිබෙන බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා දිසා විනිසුරුට පරුෂ වචනයෙන් බැණවැදී තර්ජනය කරමින් කනට පහරක් එල්ල කර ඇතැයි විනිසුරුවරයා පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත.

මෙම පහර දීම සම්බන්ධයෙන් දිසා විනිසුරුවරයා අක්මීමණ පොලිස් ස්ථානයට දැනුම් දී ඇත්තේ දුරකතනයෙනි. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් කඩිනමින් එහි පැමිණ ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේදී විනිසුරු බිරිය කම්පනයට පත්ව සිය පපුව රිදෙන බව පැවසූ බව පොලිසිය කියයි. ඒ වන විට එම ස්ථානයේ සිටි අය සිතා ඇත්තේ සිය සහෝදරයාව බේරා ගැනීමට විනිසුරු බිරිය විසින් රඟපෑමක් කරන බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එබැවින් පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ඇය ඒ වන විට හෘදයාබාධයකට ලක්ව සිටින බව අනාවරණය වීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන අතරතුර මියගොස් තිබෙන බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය. ඇය අවුරුදු 45ක් පමණ වයසැති බව ද එම නිලධාරියා පැවසීය.

විනිසුරුවරයාට පහරදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයාව මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙය දෙමස්සිනාලා අතර ගැටුමක් මිස අධිකරණමය සිදුවීමක් හේතුකොටගෙන ඇතිවූවක් නොවන බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT