Home » ශ්‍රී ලංකාවේ රුපියල පසුගිය කාර්තුවේදී ඉහළම කාර්යසාධනයක් පෙන් වූ මුදල් ඒකකය වෙලා – එජාප කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන

ශ්‍රී ලංකාවේ රුපියල පසුගිය කාර්තුවේදී ඉහළම කාර්යසාධනයක් පෙන් වූ මුදල් ඒකකය වෙලා – එජාප කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන

by sachintha
April 18, 2024 1:57 am 0 comment

විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ පසුගිය කාලයේ ඇති වූ ප්‍රගතිය නිසා ශ්‍රී ලංකාවේ රුපියල පසුගිය කාර්තුවේදී ඉහළම කාර්යසාධනයක් පෙන් වූ මුදල් ඒකකය බවට පත් වී තිබෙන බව එජාප කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවැසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

ආසියානු සංවර්ධන බැංකුව සමඟ පැවැති සාකච්ඡාවලදී ඔවුන් පුරෝකථනය කර තිබෙන්නේ 2024 වර්ෂයේදී එකයි දශම නවයක ආර්ථික වර්ධනයකුත් 2025 වසරේදී එකයි දශම පහක ආර්ථික වර්ධනයකුත් ශ්‍රී ලංකාව අත්පත් කර ගනු ඇති බවයි.

ඔවුන් එහිදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවාගැනීම සහ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

“ඒ වගේම අස්වැසුම සහ උරුමය වැඩසටහන්, රාජ්‍ය සේවකයන් ඇතුළු මධ්‍යම පාන්තිකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව ප්‍රශංසාත්මකව මත පළ කර තිබෙනවා. විශේෂයෙන්ම ස්ප්‍රින් සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව විශේෂ ප්‍රශංසාවක් ශ්‍රී ලංකාවට සිදු කර තිබෙනවා. විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් විදුලි මෝටර් රථ ලබාදීම සිදුවෙනවා. මහා මාර්ගයේ බොහෝ වෙලාවට විදුලි වාහන අපට දකින්නට ලැබෙන්නේ ඒ නිසයි කියන එක ජනතාවට පැහැදිලි කර දිය යුතුයි. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් සංචාරක වීසා මාස හයක් දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමට හැකියාව විවර කර දී තිබෙනවා. අපි බැලුවොත් අපගේ අපනයන ආර්ථිකය ප්‍රසාරණය වෙලා. පසුගිය කාලපරිච්ඡේදයේ ඒ තුළින් ලැබූ ඉපැයීම්වල වර්ධනයක් පෙන්නුම් කරනවා.

බොහෝ වෙලාවට වෙළෙඳ ප්‍රජාව ඉතාම හොඳ නව වසරක් උදාවූ බව ප්‍රකාශ කිරීම රටේ සංවර්ධනයේ දිශානතිය පිළිබඳව අපට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව උදාකර දුන් බව සඳහන් කළ යුතුයි.”

එජාපයේ කඹුරුපිටිය ආසන සංවිධායක ජනිත් වික්‍රමසිංහ මහතා –

“ශ්‍රී ලංකාවේ රුපියල පසුගිය කාර්තුවේ කාර්යසාධන මට්ටමෙන් ඉහළම මුදල් ඒකකය බවට පත්වීමට හේතුසාධක බොහොමයක් ඉවහල් වී තිබෙනවා. උද්ධමනය තනි අගයට ගෙන ඒම, බැංකු පොලී අනුපාතය ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන යෑම සහ ජනතාවගේ සුබසාධන ක්‍රියාකාරකම් මනාව සංවිධානය කරමින් විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ගනිමින් ගෙන ගිය ක්‍රියාමාර්ග මෙහිදී ඉවහල් වන බව කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරනවා.

පසුගිය කාලපරිච්ඡේදය තුළ රුපියල ශක්තිමත් වීම සහ බැංකු පොලී අනුපාතය පහළ යාම නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ශක්තිය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව සහ රජය විසින් ගත් ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රගතිය තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වී තිබෙනවා කියන එක පෙනෙන්න තිබෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය දියුණුවත් සමඟ ඉතා හොඳින් විදේශ සංචිත වර්ධනය වෙනවා. මසකට ලක්ෂ දෙකකට වඩා සංචාරකයන් ප්‍රමාණයක් රටට පැමිණ තිබෙනවා. ඩොලර් බිලියන එකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ තුළින් අත්කර ගැනීමට රජයට හැකිවී තිබෙනවා.”

මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT