Saturday, April 27, 2024
Home » දිවංගත හිටපු අමාත්‍ය එම්. ඩී. එච්. ජයවර්ධන මහතාගේ 109 වන ජන්ම දින සැමරුම හෙටට (29) යෙදී ඇත.

දිවංගත හිටපු අමාත්‍ය එම්. ඩී. එච්. ජයවර්ධන මහතාගේ 109 වන ජන්ම දින සැමරුම හෙටට (29) යෙදී ඇත.

by sachintha
March 28, 2024 1:00 am 0 comment

මේ ලිපිය ඒ වෙනුවෙනි. -සැම තැන සැම විට එම්.ඩී.එච්.

මහබාලගේ දොන් හෙන්රි ජයවර්ධන මැතිතුමා උපත ලැබුවේ 1915 මාර්තු 29 වෙනි දින පාදුක්කේ දීය. එතුමාගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ එම්.ඩී.එස්. ජයවර්ධන මහතාය. මව එච්.ඩී. සිලිදා හාමිනේ මහත්මියය. මහබාලගේ දොන් හෙන්රි ජයවර්ධන මැතිතුමා ජනතාව අතර ප්‍රචලිත වූයේ එම්.ඩී.එච්. යන කෙටි නමිනි. 1977 මහා මැතිවරණයේදී කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ සෑම නි‍ෙවසකම පාහේ ප්‍රදර්ශනය වූ දැන්වීමක සඳහන් වූ වදන් පෙළක් පහත සඳහන් වේ. එනම්, අපේ දුකේදිත් එම්.ඩී.එච්., අපේ සැපේදිත් එම්.ඩී.එච්., සැමතැන සැමවිට එම්.ඩී.එච්., අප දිනවන්නෙත් එම්.ඩී.එච්. මේ ආකාරයෙන් එම්.ඩී.එච්. ජයවර්ධන මැතිතුමා ජන හදවත් තුළ අරක්ගත් ජන නායකයෙකු විය. එතුමා සමීපතම මිතුරන් අතර “හැරී” විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ශ්‍රීමත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇතුළු ප්‍රබල නායකයන්ද එතුමා අමතා ඇත්තේ “හැරී” යන නමිනි.

එම්.ඩී.එච්. උගතෙකි. බුද්ධිමතෙකි. ආර්ථික විශේෂඥයෙකි. එතුමා මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඉන්පසු සිලෝන් යුනිවර්සිටි කොලේජ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ලංකා නීති විද්‍යාලය යන ආයතනවල උසස් අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ ලින්කන් ඉන් ආයතනයේ අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බැරිස්ටර්වරයෙකු වශයෙනි. ශ්‍රී ලංකාවට පැමිණි එතුමා ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වී කටයුතු කර ඇත. එතුමාගේ පියා බලාපොරොත්තුව සිටියේ තම පුත්‍රයා එම උසස් රැකියාව කරමින් තමන්ගේ වතුයායවල් ඇතුළු වටිනා දේපළ පාලනය කරමින් තව තවත් එම දේපළ සහ වස්තුව වර්ධනය කරමින් කටයුතු කරනු ඇතැයි කියාය. එහෙත් එතුමා තම උපන් රටේ ජනතාවට සේවය කිරීමට දේශපාලනය තෝරා ගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමෙනි. ජාතියේ පියාණන් වූ මහාමාන්‍ය අතිගරු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ බලවත් ඉල්ලීම පරිදි එතුමා ඒ තීරණය ගෙන ඇත.

ආකර්ෂණීය ප්‍රතාපවත් දේහ විලාසයකට උරුමකම් කියූ මේ තරුණ උගත් බුද්ධිමත් දේශපාලනඥයා එක්සත් ජාතික පක්ෂය විසින් හොරණ ආසනයේ සංවිධායක තනතුරට පත් කරන ලදී. එක්සත් ජාතික පක්ෂය එදා ගත් මෙම තීරණය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ දැවැන්තයෙකු ජනතා මෙහෙවරට ඉදිරිපත් කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

හොරණ ඡන්ද කොට්ඨාසයේ ගැමියන් අතර එම්.ඩී.එච්. ඉතා ජනප්‍රිය වූයේ “පාදුක්කේ බණ්ඩාර හාමු” “බණ්ඩාර මහත්තයා” ලෙසය. එතුමා පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් වැඩි ඡන්ද 13500ක් ලබා හොරණ මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. එතුමාට 1953 අගෝස්තු මාසයේ නියෝජ්‍ය මුදල් ඇමැති පදවියද පසුකලෙක මුදල් අමාත්‍ය පදවිය ද හිමි විය. එකල පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ළාබාලම මුදල් අමාත්‍යවරයා වූයේ ජයවර්ධන මහතාය.

ජයවර්ධන මහතා 1954 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවේ අධිපති ලෙස සේවය කළ අතර කොළඹ ක්‍රමය වෙනුවෙන් ඔටාවා හා වොෂින්ටන් නගරවලට පැමිණ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දුන්නේය. 1956 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට ලක්වී ආසන 8කට සීමා වූ අවස්ථාවේ පක්ෂය නැවත ගොඩනැඟීමට ඩඩ්ලි සේනානායක මැතිතුමා සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇතුළු පක්ෂයේ නායක කාරකාදීන්ට මහත් ශක්තියක් වූයේ එම්. ඩී. එච්.ය. පක්ෂයේ මහ ලේකම් ධුරය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ එතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ඉල්ලීමට නොපැකිළව එම අභියෝගය භාර ගත්තේය. ඉන්පසු පක්ෂය නැවත රට තුළ ශක්තිමත් විය. පක්ෂය වටා ජනතාව ඒකරාශි විය.

එතුමා 1965 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කොට්ටාව ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට නැවත පත්වූයේ කැලණි මිටියාවතේ ජනතාවගේ වාසනාවටය. එතුමාට සෞඛ්‍ය අමාත්‍ය පදවිය පිරිනැමුණේ මෙම අවස්ථාවේදීය. තවද ප්‍රථමවරට ජාතික රජය විසින් පිහිටුවන ලද විද්‍යා පර්යේෂණ සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය ද එතුමාට පැවරිණි. එම අමාත්‍ය පදවි දරමින් එතුමා කොට්ටාව ආසනයේ ජනතාවට අතිවිශාල සේවයක් ඉටු කළේය. තලංගම, කොස්වත්ත, අතුරුගිරිය, නවගමුව රෝහල් කඩුවෙල, දැඩිගමුව රජයේ බෙහෙත් ශාලා, සංචාරක බෙහෙත් ශාලා, පාසල් දන්තාගාර ඉදිවූයේ මෙම වකවානුවේදීය.

නවගමුව රෝහල එතුමා නමින් නම් කරන ලද්දේ මෙම ලියුම්කරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ 1996 වර්ෂයේ දීය. එම්.ඩී.එච්. ජයවර්ධන මැතිතුමා 1977 මහා මැතිවරණයෙන් ජය ලබා කඩුවෙල මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත් විය. එවර එතුමාට හිමි වූයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය පදවියයි. එතුමා වැඩි කලක් මෙම අමාත්‍ය පදවිය දැරුවේ නැත. එම රජයේ මුදල් අමාත්‍ය ගරු රොනී ද මැල් මැතිතුමාගේ අය වැයේ දුර්වල තැන් පෙන්වා දී විවේචනය කර අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්විය. එම අය වැය ජනතාවාදී අය වැයක් නොවන බව එතුමා කියා සිටියේය.

එම්.ඩී.එච්. ජයවර්ධන මැතිතුමාගේ අමරණීය සේවාවන් අතර කඩුවෙල බියගම යාකාල රාජසිංහ පාලම ඉතිහාසයට එක් වේ. ධනපතීන්ගේ පක්ෂයක් හංවඩු ගසා ඇති එජාපයේ සමාජවාදී මුහුණුවරක් ගත් නායකයන් අතර එතුමා මූලික වේ. එතුමා දිළිඳු අසරණ ජනතාවට බොහෝ උදවු උපකාර කළේය. ඔවුන්ගේ ජන ජීවිතය ගොඩනැංවීමට කටයුතු කළේය. දුප්පත් පැල්පතටද එතුමා ගොඩවිය. මහජන දිනයේදී එතුමාගේ නි‍ෙවස ජනතාවගෙන් පිරී ඉතිරුණි. මේ සියලු දෙනාට ආහාරපානවලින් සංග්‍රහ කළේය. ආරක්ෂකයන් නොමැතිව ආසනයේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරීය. එතුමා එවකට කොමියුනිස්ට් රටක් වූ නැඟෙනහිර ජර්මන් ජනරජය සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වූයේය. එකී සමාජ මෙහෙවරට කෘතවේදීත්වය පළ කිරීම සඳහා එම රජයෙන් එතුමාට අති උත්තම ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ සම්මානය පිරිනැමීය. එතුමා බොහෝ රටවල සමීපතම මිත්‍රයෙක් විය. වර්තමාන තරුණ දේශපාලනඥයන් එම්. ඩී. එච්. ජයවර්ධන චරිතය ආභාසයට ගන්නේ නම් එය ඔවුන්ගේ අනාගතයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැක.

මේ අව්‍යාජ ප්‍රතාපවත් කීර්තිමත් දේශපාලනඥයා 1986 සැප්තැම්බර් 29 දින දැයෙන් සමුගත්තේය.

එතුමාට නිවන් සුව පතමු !

චන්‍ද්‍රසේන පලිහේන

හිටපු නාගරික මන්ත්‍රී

කඩුවෙල මහනගර සභාව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT