මැක්හෙන්රි කොටුවට බ්‍රිතාන්‍යයෝ බෝම්බ හෙළන ආකාරය ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ දකින්නේය. එක්සත් ජනපදය නිදහස උදෙසා ගෙන ගිය අරගලයේදී මේ ආකාරයේ ප්‍රහාර එල්ල වනු දුටු හෙතෙම, බෝම්බ ප්‍රහාරයෙන් පසුදා අලුයම දකින්නේ, සුන්බුන් වූ එක්සත් ජනපද බළකොටුවක් නොවේ. අලුයම පතිත වන පළමු හිරුඑළියෙන්ම හෙතෙම දකින ලද්දේ බළකොටුවට ඉහළින්, අභිමානයෙන් නැඟී සිටින අෙමරිකානු ධජයය. ඒ ගැන ඔදවැඩුණු ඔහුගේ මනස, බළකොටුවේ සවිමත් ආරක්ෂාව ගැන කවියක් ලියුවේය. සතියක් ඇතුළත කවිය, ගීතයක් විය. The Star-Spangled Banner එක්සත් ජනපද වැසියෝ සිය දේශයේ අභිමානය සඳහා නිතර මතුළේය. දේශප්‍රේමය ප්‍රකාශ වන හැම මොහොතකම ඒ ගීතය ප්‍රචාරය විය. ඔය ආකාරයේ ගීත රැලි වසර ගාණක් එක දිගට පවතිනවා අපිදු අත්දැක ඇත්තෙමු. දැන් සිංහල අවුරුදු කාලය ආරම්භ වී ඇත්තේ බැවින්, කොයි කොන ගෑටුව ද ‘ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා…’ ගීතය ඇසිය හැකිය. අමතරව ‘කිරි ඉතිරේවා නව වසරේ’ ගීතය ප්‍රචාරය වන්නේය. ඊළඟට එන්නේ, චංචල රේඛා චිත්‍රපටයට මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ ගැයූ ‘මී අඹ අත්තේ කොහෝ කොහෝ …’ ගීතයයි.
වෙසක් කාලයේ තොරණක් ඉදි කළ ද දන්සල් දුන්න ද මොහිදීන් බෙග්ගේ ‘ඔබෙ රාගී මන කැලැඹීදෝ…’ ගීතය නැත්තේ නම්, දන්සලේ කෑමෙන් ද වැඩක් නැති ගානය. ෆ්‍රැන්සිස්ගේ ගීතය ද ඒ ආකාරයට, අෙමරිකාවේ ජාතික හැඟීම දනවන ඕනෑම තැනක අනිවාර්ය විය. ඔහොම ශත වර්ෂයක පමණ කාලයක් ගෙවී ගියේය. ජනාධිපති හර්බට් හූවර් මේ ගීතය එක්සත් ජනපදයේ ජාතික ගීය ලෙස තෝරාගෙන, ඒ සඳහා වන නිල නම් කිරීම සිදු කරන ලද්දේය. එක්සත් ජනපදයේ ජාතික ගීතය රචනා කළ ෆ්‍රැන්සිස් ස්කොට් කීගේ නමට උපහාර පිණිස ඒ රටවැසියෝ පාලමක් නම් කළහ. මේරිලන්ඩ්හි හෝකින්ස් තුඩුව සහ ඩන්ඩල්ක් අතර පැටප්ස්කෝ ගඟ උඩින් බැල්ටිමෝර් වරාය වෙත ප්‍රවේශයක් ලෙස මෙම පාලම භාවිත විය. නැව් යාත්‍රා කිරීම පිණිස අවශ්‍ය ඉඩකඩ සහිතව ඉදි කළ මේ පාලම ඊයේ පහළට පාත් විය. පාලමේ ‘අච්චර’ ඉඩක් තිබියදී ශ්‍රී ලංකාවට බඩු රැගෙන එන, සිංගප්පූරු නෞකාව වද්දා ගත්තේ පාලමේ බර දරාගෙන සිටිනා කණුවකය. පාලමේ ඒ මොහොතේ ද වාහන ධාවනය වෙමින් තිබිණි. මේ ආකාරයට ‘මේන් ටවර් එකක්ම’ කඳ මැද්දෙන් වෙන් වෙන්නට නැවක් හැප්පුණු විට, පාලම දෙදරා පහත් වෙනවා කියා, ඒ මත්තේ යන වාහන ටික, අයිනට අල්ලා නතර කර ගත හැක්කේ නැත. මේ නිසා ඒ මොහොතේ තිබූ සියලු වාහන ද ගඟේ ගියේය.
මෙවන් උපද්‍රව දුටු විට මතක් වන්නේ නැවක් එන්නේ නැති ගාණට තිබූ අපේ රටේ ආර්ථිකය ය. එතැනට ආර්ථිකය පත් කරන ලද්දේ වසර ගණනාවක ආර්ථික ප්‍රතිපත්ති සහ කොවිඩ් උපද්‍රවය ය. එතැන් සිට මේ රට කෙළින් කර ගැනීමට නොහැකි තරමට, අර්බුද ගලාගෙන ආවේය. නැවක් එන්නේ නැති ගාණට ආර්ථිකය අවපාතයට හැරවුණු ඒ කාලය දැන් නිමාවට පත් කර තිබේ. මේ රට බලා එන නැවක්, එක්සත් ජනපදයේ පාලමක හැප්පෙනවා කියා නිවුස් එකේ අපිට වැදගත් කොටස වන්නේ ‘රටට දැන් ලෝකයේ හතර වටෙන් නැව් එනවා…’ කියන කෑල්ලය.
මේ ආර්ථික ප්‍රපාතයෙන් නැඟී සිටින රට සඳහා පහළ ශ්‍රේණිය දක්වන දායකත්වය ‘ උමඟ කෙළවර ආලෝකය’ දැකීමක් බව කිව හැක්කේය. දැන් ආර්ථිකය කෙළින් කිරීම සඳහා අත තබා ඇත්තේ ගමේ පහළම අඩියේ සිටින කෙනාය. වෙනදාට මේ ස්තරය හඳුන්වන ලද්දේ ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කළ විට වක්‍ර ප්‍රතිලාභ ලබන පිරිස ලෙසය.
ඒ කියන්නේ වැට අයිනේ සිට කීයක් හෝ හොයාගන්නා පිරිස ලෙසය. මේ අර්බුදයේදී මධ්‍යම වෙෙළඳ පන්තිය ද ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම මෙන් ඇදගෙන වැටුණේය. නිෂ්පාදන අංශයට අත නොතබා, අතරමැදි සිද්ධියේ සිට තම ව්‍යාපාර කරගෙන ගිය ඒ ප්‍රජාව වෙනුවට දැන් හිස ඔසවන්නේ අලුත්ම නිෂ්පාදන පන්තියකි.
වලස්මුල්ල, ඔමාරගම කාන්තාවෝ හැට දෙනෙක් එකතු වී නිල් කටරොළු මල් වවා, ඒවා වේළා රට පටවන්නේය. වෙනදාට ගමේ එකිනෙකාගේ ඇදපළුදු කතා කර කර සිටි පිරිසක් මේ වන් ප්‍රයෝජනවත් වැඩකට අත තබා, රටේ ගමන ද වෙනස් කිරීම සඳහා ඩොලර් ආදායමක් උපයා දෙන විට ‘දැන් රට යන විදිහ හරි’ බවට වූ වැටහීමක් අපට එන්නේය.
අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේ තරුණ ගොවි මහතෙක් තාක්ෂණයට අනුව කොමඩු වගා කළේය. දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් හේ උපයා ගත්තේය. අක්කර දෙකකට වඩා අඩු ඉඩක, කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් මත මෙවර මහකන්නයේ මුංඇට වගා කළ පයින්ඩිකුලම ගමේ තරුණයෙක් ඉන් ලක්ෂ දාහතරකට වැඩි මුදලක් උපයාගෙන තිබිණි.
කිලිනොච්චි අක්කරායන්කුලම්හි අක්කර 100ක පැෂන් ෆෘට් වගාවක් ඇත්තේය. මෙම පැෂන් ෆෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානයේ ගොවීන් දෙසිය දෙනෙක් පැෂන් ෆෘට් වගාව ආරම්භ කර තිබේ. වගා කළාට මදිය. ඒවා පැකින් ආදිය සඳහා තෙමේම යොමු නොවන්නේ නම්, වගාවෙන් කරල පීදෙන්නේ ‘අහක යන’ එකාටය. ඒ නිසා මේ ගොවියෝ එකතුව කර්මාන්තශාලාවක් ද ආරම්භ කළහ. දැන් වැඩේ නැඟලා යන්නේය.
ජම්බෝ රට කජු මේ රටේ වැවෙන්නේ නැත. ඒවා පැකට් ලෙස කෑමට පොඩිහිටියෝ කැමැත්තෝය. මේ සියල්ල ආනයන ආහාර විය. අපි පොඩි බඩගින්නට කන දේ පවා ගෙන්වන්නේ එතෙරින් නම්, රටේ තරම කිව හැකිය. මේ දෙස බලා ඉන්නට බැරි තැන මේ රටේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රයේ විද්වත් පර්යේෂිකාවක් වන ජීවනී දිද්දුගොඩ, ජම්බෝ රටකජු මේ පොළොවේ වැවිය හැකි ආකාරයක් හඳුන්වා දුන්නාය. ඒ නව ප්‍රභේදයක් ලෙසය. වසර කිහිපයකට පෙර ජම්බෝ රටකජු මෙහෙට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ සිටය. දැන් ඒ වැඩේ නවතා ඇත්තේය. මේ රටේ බිහි කළ නව ප්‍රභේදය හැම අතින්ම හොඳ වැඩිය. කිලිනොච්චියේ කරච්චි හා කන්ඩාවලයි ගම්මාන දෙකෙහි ගොවීන් 500ක් මේ රට කජු දැන් වවන්නාහ.
දැන්, අපි කටට හලා ගන්නා, ජම්බෝ පීනට් පැකට්ටුවේ ඇත්තේ මේ රටේ පොළොවේ හැදුණු බඩුය. මේ ආකාරයේ ගමනක් යනවා දැකීමම සුබ සිහින එළිවෙන බවට කාරණයකි.
මේ රට පහළ ස්තරය ඔය ආකාරයට උඩට ඉස්සී එනවා කියන්නේ, ගමට සුබසාධනය ආධාර ළඟදීම නතර කළ හැකි බවය. අනික රට ඉදිවෙන පදනම සවිමත් බවය. පිරමීඩයේ යට සිටම ආර්ථිකයෙන් බලවත් යන්නය. කොහොම හෝ මේ පදනම රටේ ස්ථාවර කළහොත් වැඩි කල් යන්නට පෙර ‘කතන්දරේ’ වෙනස් වෙනවා ඇත.