Saturday, April 27, 2024
Home » සුනිල මහා සංග්‍රාමය සති අන්තයේ අම්බලන්ගොඩදී

සුනිල මහා සංග්‍රාමය සති අන්තයේ අම්බලන්ගොඩදී

by sachintha
March 28, 2024 1:10 am 0 comment

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ දේවානන්ද විදුහල අතර 55 වැනි වරට පැවැත්වෙන සුනිල සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ සති අන්තයේ (30-31) අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර තරගයේ සත්කාරත්වය අම්බලන්ගොඩ දේවානන්ද විදුහල විසින් දරනු ලබයි.

මෙවර සුනිල සංග්‍රාම කුසලානය තමන් සතු කර ගැනීමේ මෙහෙයුමේදී ධර්මාශෝක විදුහල රන්දුල් සමර හේවා මෙහෙයවන අතර, දේවානන්ද විදුහල් පිල වනිත් ද සිල්වා මෙහෙයවයි.

අම්බලන්ගොඩ අභිමානවත් මහා මංගල්‍යය සැලකෙන මේ ක්‍රිකට් වංශ කතාවේ ගෙවී ගිය තරග 54න් තරග 12කම ජය ධර්මාශෝක විදුහල සතුව ඇති අතර, තරග දෙකක ජය දේවානන්ද විදුහලට හිමිව ඇත. සුනිල සංග්‍රාමය ක්‍රිකට් තරගය ඉතිහාසයේ වසර 56න් තරග 40ක්ම ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

1963 ආරම්භ වූ මේ තරගයට වසර 61ක දිගු ඉතිහාසයක් තිබුණ ද වසර 7ක්ම විවිධ හේතූන් මත මේ තරගය පවත්වා නැත.

මංගල සුනිල සංග්‍රාමයේ ජය භුක්ති විඳීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සමත්වූ අතර ඉන් වසර තුනක් ගිය තැනේදී එනම් 1966දී සිය මංගල ජය සටහන් කළ දේවානන්දයට 2022 වන තෙක්ම එකදු ජයක්වත් මේ තරගයේ ලබා ගැනීමට ධර්මාශෝක විදුහලෙන් ඉඩහසර ලබා නොදීම කැපී පෙනේ. ඒ අතර වාරයේ ධර්මාශෝක විද්‍යාලය තරග 12කම ජය දේවානන්ද විදුහලෙන් උදුරා ගැනීමට සමත්වී තිබිණි. 1966න් පසුව 2022 අතර වසර 56කට පසුව සිය දෙවැනි ජය දේවානන්ද විද්‍යාලය සනිටුහන් කර ගත්තේ විශාල පෙරලියකින් පසුවය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩා වංශකතාවේ මේ දක්වාම පළමු පෙළ අන්තර් පාසල් තරගාවලියට ක්‍රීඩා කළ ධර්මාශෝක විදුහල සිය විදුහල් ඉතිහාසයේ පළමු වරට දෙවැනි පෙළට වැටී යෑමේ දැඩි අවදානමක මේ වන විට පත්ව ඇත්තේ මෙවර තරග වාරයේ මෙතෙක් පැවති පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග 11න් පූර්ණ පරාජයන් 3ක්, පළමු ඉනිමේ පරාජයන් 5ක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් වාර්තා කිරීම හේතුවෙනි.

ධර්මාශෝක විදුහල ශ්‍රී ලංකා ක්‍රිකට් කෙතට අජිත් ද සිල්වා, උපුල් තරංග, සමන් ජයන්ත, රමේෂ් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කොට තිබේ.

මේ තරග වාරයේදී ධර්මාශෝක විදුහල් කණ්ඩායමේ ගිය වසරේ (2023) නායකත්වය දැරූ සෙනිත හැළඹගේ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 222ක් ලබා ගනිමින් එම විදුහලේ එක් තරගයක එක් ඉනිමකදී වැඩිම ලකුණුලාභීන්වූ උපුල් තරංගගේ (210) සහ දිනුක දිල්ෂාන්ගේ (216) පිතිකරණ වාර්තා බිඳ හෙළීම ද විශේෂයෙන්ම කැපී පෙනිණි.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන පෙළින් මේ වන විට සෑහීමකට පත්ව සිටින අම්බලන්ගොඩ දේවානන්ද විදුහල පළමු පෙළට අත පොවන මානයටම පැමිණිය ද තවමත් දෙවැනි පෙළේම රැඳී සිටීමට සිදුව ඇත.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දේවානන්ද විද්‍යාලය තරග 9කට සහභාගීවී ඉන් තරග 4ම පූර්ණ ජයත්, තරග 3ක පළමු ඉනිමේ ජයත්, තරග 3ක පළමු ඉනිමේ පරාජයත් අත්වින්දේය. මේ තරග වාරයේදී දේවානන්ද විදුහල කිසිදු පාසලකට තමන්ට එරෙහිව කිසිම ආකාරයකින්වත් පූර්ණ පරාජයක් ලබා නොදීමට වග බලා ගැනීමද විශේෂයෙන්ම කැපී පෙනේ.

මෙවර සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගය ධර්මාශෝක විද්‍යාලයට මෙන්ම දේවානන්ද විද්‍යාලයට සුවිශේෂීවූ තරගයකි. ඒ පිට පිටම වසර දෙකක් දේවානන්ද විද්‍යාලය තුරුල් කරගෙන සිටින කුසලානය සිය දෝතින්ම බදා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය උත්සහා දැරීමත් නිසා සහ වසර 56කට පසුව ලබාගෙන වසර දෙකක්ම දෝතින්ම තුරුලු කරගෙන ආදරයෙන් රැකබලාගත් සුනිල සංග්‍රාම කුසලානය අත් හැරීමට දැඩි තෘෂ්ණාවක සිටින දේවානන්ද විද්‍යාලයත් නිසාය.

ධර්මාශෝක විදුහල් කණ්ඩායම – රන්දුල් සමරහේවා(නායක),පැතුම් මලිත (උප නායක), සෙනිත හැළඹගේ, කවීෂ මතේෂ්, ආකාෂ් මෙන්ඩිස්, චන්දූප කවීෂ්, විශ්ව දිමුතු, චානුක ජයසිරි, සෙනුර සදයුරු, සහස් ද සිල්වා, දිනෙත් ගිම්හාන, ඔෂාන් මින්, පසිඳු ජයකොඩි, ජිතිර සන්සික, ඉෂාන් අනුරාධ, නෙතුජ භාසිත, පසිදු නදීෂ්, ඔමෙග කරුණාරත්න.

දේවානන්ද විදුහල් කණ්ඩායම – වනිත් ද සිල්වා (නායක), චමෝද් චන්දූප (උප නායක), සදුල රශ්මිත, කවීෂ් කුමාර, සිතුම් විහග, රවිදු ජීවංක, සවීන් දයාජිත්, විහග මලිත්, මහිම් දේශාල්, තෙනුජ රශ්මින්, ලුදීෂ නිම්සර, රජිත ලක්ෂාන්, දනිදු ඉනෝෂ, මයුර මල්ෂාන්, නිශිත ද සිල්වා, මිනිදු ඕෂද.

කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්‍මදාස සිරිවර්‍ධන.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT