තායි වැසියෝ අලුත් අවුරුද්දට කියන්නේ සොන්ක්‍රාන් කියාය. තායිලන්තයට අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් 13 සහ 14 දෙදිනයේය. සංක්‍රාන්තිය යන තේරුම ඇති මෙම උදාව කාම්බෝජයේ ද ඒ ආකාරයට එම නමින්ම සමරනු ලබන්නේය. තින්ගයන් කියා මියන්මාර් වැසියෝ ද සිය අලුත් අවුරුද්ද අප්‍රේල් 13 සහ 14 දෙදිනේ සමරන්නෝය. ලාඕසයේ අලුත් අවුරද්ද ද මේ පොදු කාරණා දෙකම අත්පත් කර ගනියි.
ථෙරවාදී බෞද්ධ රටවල් සියල්ලම අප්‍රේල් 13 සහ 14 දෙදිනේ අලුත් අවුරුද්ද සමරන්නේ සූර්ය සංක්‍රාන්තිය මුල් කරගෙනය. සිංහල අවුරුද්දේ කතාව සොයා ගෙන යන සඳ, මේ ආදී වටපිටාව ද වැදගත් හෙයින් අද මේ තීරුව වෙන් වන්නේ සිංහල අලුත් අවුරුද්දේ ‘බෞද්ධ තත්ත්වය’ පිළිබඳව වූ විමර්ශනයකටය.
ථෙරවාදය ස්ථාපිත වන්නේ සිංහලයේ මහා විහාරය මුල් කරගෙනය. මහා විහාරය සිය අනන්‍ය සම්ප්රදාය සඳහා ගුරුකොට ගන්නා ලද්දේ ‘පිරිසුදු බුද්ධාගම’ නම් සංකල්පයය. තෙවන ධර්ම සංගායනාවෙන් පසුව බුදු දහම සුරක්ෂිත කිරීමේ වගකීම උසුලන ලද්දේ මහා විහාරයය. ඒ අනුව මහා විහාර සම්ප්රදාය ලෝකයේ තවත් රටවල් සඳහා පැතිර යන්නේ එම රටවල බුදු දහම අර්බුදයට පත්වූ විට ඒ සඳහා අවශ්‍ය උපසම්පදා ආදී සියල්ල මහ විහාරය මුල් කර ගනිමින් සිදු වූ බැවිනි. ලෝකයේ මෙම සම්ප්රදාය අනුව බුද්ධාගම අදහන රටවල් පහක් ඇත්තේය. එම සියලු රටවල් සූර්ය සංක්‍රාන්තිය මුල් කරගෙන අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු උදාව සමරන්නේය. සූර්ය සංක්‍රාන්තිය සහ අලුත් අවුරුද්ද යන පොදු ගැළපීම ඒ රටවල ඇති අතරේ, ලක්දිව තුළ එය තවත් බෞද්ධ පාර්ශ්වය සඳහා බරතබන කාරණාවක් තිබේ.
බුදු රජාණන්වහන්සේගේ එක් ලංකාගමනයක් සිදුව ඇත්තේ බක් අමාවක පෝ දිනකය. සාමාන්‍යයෙන් ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධි සියල්ලම පාහේ සිදුව ඇත්තේ පුර පසළොස්වක දින බැවින්, තවමත් සමහරු සත්‍යයට පිටුපා, බුදු රජාණන්වහන්සේ ලක්දිවට දෙවැනි වරට වැඩම කරන ලද්දේ බක් මස පුර පසළොස්වක පෝදිනක බැව් කියනු දැකිය හැකිය. කිසිඳු මූලාශ්‍රයක් නොමැති එම දිනය වෙනුවට මහාවංශයේ සඳහන් බක් අමාවක නිවැරදි දිනය ලෙස යොදා ගන්නේ නම් මැනවි යන්න අවධාරණය කරනුයේ, සිංහල අවුරුදු කතාව අතරේ තවත් කතාවක් පවසමිනි.
මහා වංශයෙහි පළමු පරිච්ඡේදයේ 681 -684 ගාථා අනුව බුද්ධත්වයෙන් පස්වැනි අවුරුද්දෙහි බුදුරදුන් දෙවුරම්හි වැඩ වසන්නේය. මහෝදර හා චූලෝදර යන දෙදෙනාගේ මැණික් පුටුවක් අරභයා යුද වැදීමට යන සංග්‍රාමය දැක නාගයන්ට අනුකම්පා පිණිස බක් අමාවක් පෝය දා උන් වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.
අමාවක යන්න යෙදෙන්නේ චන්ද්‍ර මාසයක මැදය. බුදු රජුන්ගේ ලංකාගමන සිංහල අවුරුද්දේ දී අප සිහිපත් කර ගන්නේ නැති වුවද එහි යම් ආභාසයක් සිංහල අවුරුද්ද සඳහා වීදැයි ඉතිහාසය අනුසාරයෙන් සොයා බැලිය හැක්කේය.
මේ ලංකා ගමන සම්බන්ධයෙන් නාසා ආයතනයේ සේවය කරන ලාංකේය විද්‍යාඥයෙක් මෑතකදී සිදු කළ අනාවරණය වැදගත්ය. ආචාර්ය කාවන් රත්නතුංග සාකච්ඡාවකදී පවසනු ලබන්නේ බුදුන්ගේ දෙවැනි ලංකා ගමනය සම්බන්ධයෙන් තමන් නාසා ආයතනයේ වැඩ කටයුතු සිදු කරන සමයේ සොයා බලන ලද බවය. මෙම දෙවැනි ගමනේදී ලංකාවම සම්පූර්ණයෙන් අන්ධකාරයට පත් කර යළි ආලෝකවත් කරමින් බුදු රජුන් මහියංගණයට වැඩම කරන ලද බව වංශකතාවේ සඳහන් වන හෙයින් ඒ පිළිබදව ආචාර්ය රත්නතුංග සොයා බලා තිබේ. මීට වසර තුන්දාහකට පමණ පෙර සිට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ සම්බන්ධයෙන් නාසා ආයතනය සතුව වාර්තා ඇත්තේ හෙයින් බුද්ධත්වයෙන් වසර පහකට පසු ලංකා ගමන සිදු වූ දිනය කෙබඳුදැයි ආචාර්ය රත්නතුංග සොයා බලන ලද්දේය. ක්‍රි.පූ. 484 එවන් චන්ද්‍රග්‍රහණයක්, එම වසරේම එවන් සූර්යග්‍රහණයක් ද සිදුව තිබෙන බව එම වාර්තා අනුව සනාථ වන්නේය. එම චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන්ම ලංකාවට පෙනුණ බවත් සූර්යග්‍රහණය නාගදීපයට උඩින් පෙනුණ බැව් ද ඒ මහතා සඳහන් කරන්නේය.
මේ සියලු මත ආචාර්ය රත්නතුංග ගෙනහැර දක්වන්නේ එවන් ඓතිහාසික දිනයක් බලා, මහාවංශ කතුවරයා එදිනට බුදුන් ලංකාවට වැඩම කළ බව සඳහන් කර ඇතැයි ආකෝෂ අර්ථයෙන් දක්වනු පිණිසය. එසේ වුවත් මහියංගණයට බුදු රජාණන්වහන්සේ වැඩම කළා යැයි සඳහන් වන බක් අටවක දිනය දා චන්ද්‍රග්‍රහණයක් සහ සූර්යග්‍රහණයක් සිදුව ඇතැයි නාසා වාර්තා අනුව තහවුරු වීම සුළුපටු කාරණයක් නොවේ. මේ කාරණය ගත් වන පුන් පොහොයක් නොවූ එදින සහ සූර්ය සංක්‍රාන්තිය යන කාරණා දෙකම එකට ගෙන සිංහල අලුත් අවුරුදු සැමරුම යෙදුණේ දැයි සොයා බැලිය හැකිය.
චීනයේ පළාත් කිහිපයක වැසියෝ සංක්‍රාන්ති නව වසර සැමරීම සිදුකරන්නෝය. එය චීනයේ සිටින දයි ජාතිකයන්ගේ ප්‍රධාන උත්සවයකි. ක්ෂිසුහන් බන්ග් සහ දකුණු යුනාන් හි ජීවත් වන මේ පිරිසේ ප්‍රමුඛ ආගම, ථෙරවාද බුදුදහමය. මීට අමතරව කලකට පෙර ථෙරවාදය ස්ථාපිතව තිබූ, බෙංගාලයේත් ඔරිස්සාවේත් ඇසෑමයේත් නේපාලයේත් මේ දිනයන්හි අලුත් අවුරුද්ද සැමරීම සිදු කෙරේ.
අලුත් විදිහකට අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳව සොයා බැලීම සඳහා මේ තීරුව වෙහෙසෙන්නේ, එවන් ශාස්ත්‍රීය කතිකාවක් මතු නොකරන්නේ නම්, මේ සියල්ල වෙළෙද ආම්පන්න බවට සින්න වෙනවා හැර එහි ‘අලුත්’ යමක් නැත්තේ හෙයිනි.