Home » කැප්පෙටිපොළ බෝක්කුව අවහිර වී වතුර පාරේ

කැප්පෙටිපොළ බෝක්කුව අවහිර වී වතුර පාරේ

by sachintha
February 12, 2024 1:55 am 0 comment

කැප්පෙටිපොළ නගරය ආසන්නයේ පිහිටි බිඳුණුවැවට ජලය ගෙන එනු ලබන ඇළෙහි වැව ආසන්නයේ ඉදිකර ඇති බෝක්කුව අවහිර වීම හේතුවෙන් ජලය උතුරා ගොස් කැප්පෙටිපොළ හෙට්ටිගෙදර හා පුරංවෙල දක්වා ඇති මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගය දෛනිකව භාවිත කරන පිරිස් දැඩි පීඩාවට පත්ව සිටිති.

මෙම වැව කන්දේඇළ ව්‍යාපාරයට අයත් වන අතර කන්දේඇළ සිට ගෙන එනු ලබන වාරි ජලය පුරංවෙල හා දිවුරුම්වෙල වගා බිම් සඳහා අවශ්‍ය ජලය ගබඩා කර තැබීම සඳහා ගබඩා වැවක් ලෙස මෙම බිඳුණුවැව භාවිත කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කන්දේඇළ වාරිමාර්ග කාර්යාලය ආසන්නයේම මෙම බිඳුණුවැව පිහිටා ඇත. කන්දේඇළ වාරි ඇළ ඔස්සේ ගෙන එනු ලබන වාරි ජලයේ ඇති හිස් බෝතල්, ලී රොඩු, කැළි කසළ ආදි අපද්‍රව්‍ය වැවට යෑම වැළැක්වීම සඳහා වැව ආසන්නයේ කුඩා ටැංකියක් සාදා එයින් ජලය පෙරී කුඩා බටයක් ඔස්සේ ජලය වැවට යෑමට සකසා ඇති අතර එම ස්ථානයේ රොඩු සිරවී අවහිර වීම හේතුවෙන් ජලය මෙලෙස මාර්ගය හරහා ගලා යන බවයි ජනතාව කියා සිටින්නේ. ජනතාව පවසා සිටින්නේ වාරිමාර්ග කාර්යාලය අසල ම මෙම බිඳුණුවැව පිහිටා තිබුණ ද මෙම ගැටලුව නිරාකරණය කිරීමට ඔවුන් මැදිහත් නොවීම කනගාටුවට කරුණක් බවයි. මෙම මාර්ගය හරහා ජලය ගලා යෑම වැළැක්වීම සඳහා යම් විධිමත් වැඩපිළිවෙළක් සකසා දෙන මෙන් ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT