Saturday, April 27, 2024
Home » අනුර කුමාර කියන්නේ ගෝඨාභය පාට් ටූ – මන්ත්‍රී ජේ.සී. අලවතුවල

අනුර කුමාර කියන්නේ ගෝඨාභය පාට් ටූ – මන්ත්‍රී ජේ.සී. අලවතුවල

by sachintha
March 28, 2024 1:03 am 0 comment

ජතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යනු ගෝඨාභයගේ පාට් ටූ බවත්, රටේ ජනතාව නැවත ගෝඨාභය දෙක බලාපොරොත්තු වන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා:

“අද ජාතික ජන බලවේගයේ නායකයත් අමෙරිකාවේ, කැනඩාවේ රැස්වීම් පවත්වමින් යනවා. ඒත් මතක තියාගන්න ඕනෑ අවසානයේ ඡන්දය දෙන්නේ ලංකාවේ ජනතාව. ජනාධිපතිවරණයේදීවත්, මහ මැතිවරණයේදීවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට කිසිදු ගැටලුවක් වෙන්නේ නෑ. විපක්ෂ නායකතුමා විපක්ෂයේ හිඳිමින් වැඩ පෙන්වා තිබෙනවා. රටේ හිටපු කිසිදු විපක්ෂ නායකවරයකු නොකරපු වැඩ කොටසක් වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කර තිබෙනවා. විපක්ෂ නායකතුමා රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝකයට ගැළපෙන, රටට ගැළපෙන ආකාරයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

“මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත්තා නම් ඒ පිළිබඳ පොලිසිට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න තිබුණා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීලි කළාට පසුව තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු දී තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල වැරැද්දක් සිදු කර තිබෙනවා. පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට චෝදනා ගණනාවක් තිබෙනවා. රටේ නීතිය අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතුයි.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT