Saturday, April 27, 2024
Home » කළුබෝවිල රෝහල අවට කුණු කෑම කඩ වැහි වැහැලා

කළුබෝවිල රෝහල අවට කුණු කෑම කඩ වැහි වැහැලා

by sachintha
March 28, 2024 1:54 am 0 comment

මේ දිනවල ආහාර පානවල නිෂ්පාදන තත්ත්වයන්ගේ සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බැවින්, පසුගිය දා කළුබෝවිල ශික්ෂණ රෝහල අවට ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් සහ හෝටල් පරීක්ෂාවට ලක් කළ බව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසීය.

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයේ ඇති ප්‍රධානතම ස්ථානයක් වන කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත දිනපතා රෝගීන් සහ මහජනයා වැඩි වශයෙන් පැමිණෙන අතර, ඔවුන් රෝහල අවට ඇති සුපිරි වෙළෙඳසැල් සහ ආහාර පාන අළෙවිසල්වලින් ආහාර ලබාගන්නා බවත්, එම ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙම වැටලීම සිදුකළ බවත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා කීය.

දෙහිවල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ උපදෙස් පරිදි දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද වැටලීමේදී, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවිය සඳහා තබා ඇති ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසැල් සහ හෝටල් කිහිපයකම කල් ඉකුත් වූ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර, එම ස්ථානයේ නිලධාරීන් දැනුවත් කර විනාශ කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ප්‍රකාශ කළේය.

විනාශ කළ, පරිභෝජනයට නුසුදුසු ආහාර අතර මස් වර්ග, බේකරි නිෂ්පාදන, පලතුරු සහ එළවළු වර්ග ද තිබූ බවත්, එහිදී අදාළ ආයතනයේ පාලන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර නිවැරදිව ආහාරපාන ගබඩා කිරීම සහ සැකසීම පිළිබඳ උපදෙස් ලබා දී දැඩි ලෙස අවවාද කර අදාළ නුසුදුසු ආහාර පාන විනාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

එම වැටලීම සඳහා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වන ටී.ඩී.කේ. ජයන්ත, සමන් කුමාර, ලක්මාල්, නජාත් සහ සහයක නිලධාරී මාලික යන මහත්වරුන් සහභාගී වී තිබේ.

ගල්කිස්ස – ෂෙහාන් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT