Home » අලුත් අවුරුද්දට සැරසෙන ජනයා

අලුත් අවුරුද්දට සැරසෙන ජනයා

by sachintha
April 11, 2024 1:34 am 0 comment

සිංහල දෙමළ අවුරුද්ද ගෙයි දොරකඩටම පැමිණ තිබේ. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු ගම, රට අලුත්වන සුන්දර කාලයකි. ඒ කාලය තුළ ජන සමාජය පමණක් නොව පරිසරය පවා අලුත් මුහුණුවරකින් සැරසේ. ගම, රට මෙන්ම පරිසරය ද අලුත්වන මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද රටටම ජය මඟුලකි. අතීතයේදී අපට සිංහල අවුරුද්ද තරම් සුන්දර කාලයක් තිබුණේ නැත. එදා මෙන්ම අදත් මෙරට ජන සමාජයේ සියලු දෙනා එකට එක්වන මෙන්ම මුළු රටක් එකට වැඩ අල්ලන ළිප ගිනි මොළවන දවස සිංහල අලුත් අවුරුද්දයි. නෑගම් යාමේ සිට මුළු ජීවිතයම අලුත් වන්නේත් අලුතින් තම ජීවිතය පටන් ගන්නේත් සිංහල දෙමළ අලුත් අවුරුද්දේදීය.

වසර කිහිපයක් පැවැති වසංගත තත්ත්වය, ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරභාවයන් නිසා අපට සිංහල අවුරුද්ද සුපුරුදු රිද්මයෙන් සැමරීමට නොහැකි විය. 2020 වසර මෙන්ම 2021 වර්ෂය ද කොවිඩ් වසංගතය නිසා යටපත් විය. 2022 ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරභාවය නිසා එය අහිමි විය. එහෙත් දැන් කෙමෙන් රට මුහුණ දුන් නරක තත්ත්වය පහව යමින් ධනාත්මක වර්ධනයක් කරා රට ගමන් කරමින් තිබේ. මෙවර අවුරුදු සැමරීමට ජනතාව යුහුසුළු වෙමින් සිටිති. අලුත් ඇඳුම්, ආහාර පාන ලබා ගැනීමට ඔවුහු නගරය වෙත පැමිණෙමින් සිටිති. ඔවුහු එළැඹෙන නව වසර පිළිබඳව නැවුම් අපේක්ෂා දල්වා සිටිති. ඔවුන් නව වසර පිළිබඳව අපේක්ෂාවන් පළ කරන්නේ මෙලෙසිනි. නව වසරට යුහුසුළු ලෙස සැරසෙන ජනතාව සොයා අප කොළොම්පුර කඩවීදි වෙත ගමන් කළේ ජනතාවගේ මතය කුමක්ද යන්න දැන ගැනීමටය. එහිදී අපි පාරිභෝගිකයන් මෙන්ම වෙළෙඳ මහත්වරුන්ගෙන් ද කරුණු විමසුවෙමු.

එදාට වඩා අද හොඳයි

අප සමඟ මුලින්ම අදහස් පළ කළේ බොරැල්ල ප්‍රදේශයේ සිට පැමිණි නිශාන්ත මහතාය. මේ ඔහු අප සමඟ දැක් වූ අදහස්ය.

“ඇත්තෙන්ම අපි පසුගිය අවුරුදු ගත කළේ ගොඩක් අමාරුවෙන්. එදාට වඩා අද තත්ත්වය හොඳයි. ඒත් අද අපට ලැබෙන ආදායම වැඩි වෙලා තියෙනවා. ඒත් ඒ ආදායමට සමානව වියදම වැඩි වෙලා තිබෙනවා. ඒත් එදාට වඩා අද යම් පහසුවක් ලැබෙනවා, ඇත්තෙන්ම මම හිතනවා අනාගතයේදී මීට වඩා සහනයක් අපට ලැබෙයි කියලා.”

ජීවිතයේ පහසුබවක් බලාපොරොත්තු වෙනවා

සන්ධ්‍යා මහත්මියගේ ගම කඩවතය. ඇය පැමිණ සිටියේ නව වසරට අවශ්‍ය දේ මිලට ගැනීමටය.

“ඇත්තෙන්ම මේ බඩු ටික හරි අපි ගත්තෙ ගොඩක් අමාරුවෙන්. ඒත් ලද දෙයින් සතුටු වෙන්න ඕනෑ කියලා කතාවක් තිබෙනවනේ. මාත් ඒ අදහසට ගරු කරනවා. ඒ අනුවයි ජීවත් වෙන්නේ. බඩුමිල පසුගිය අවුරුද්ද එක්ක බැලුවාම වැඩි වෙලා නැහැ. එදා මට්ටමේම තිබෙනවා. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ මීට වඩා පහසු ජීවන රටාවක්.”

වෙළෙඳාම ටිකක් සරුයි

ඉන්පසුව අප සමඟ අදහස් පළ කළේ පිටකොටුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට වෙළෙඳ කටයුතු කරන රුවන් මහතාය.

“ඇත්තෙන්ම පසුගිය අවුරුද්දට වඩා අද වෙළෙඳාම හොඳයි. අපි විකුණන දේ ගුණාත්මකව සහ සාධාරණව විකුණනවා නම් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. මේ දිනවල රාමසාන් සහ අලුත් අවුරුද්ද එකට යෙදීම නිසා අපේ ආදායමේ යම් වැඩි වීමක් තිබෙනවා. ඒත් ඒක අපි 2019ට කලින් හිටිය තත්ත්වය නොවෙයි. ඒත් අද අපට යන්තම් ජීවිතය ගැටගහගෙන ව්‍යාපාර පවත්වාගෙන යන්න හැකියාව ලැබී තිබෙනවා.”

අලුත් අවුරුද්ද ගැන අලුත් අපේක්ෂාවක්

අලුත් අවුරුද්ද සහ අනාගත බලාපොරොත්තු පිළිබඳව මංජු මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

“අද බිස්නස් කරනවා වගේම අපිත් පාරිභෝගිකයකු බවටත් පත්වෙලා ඉන්නේ. අවුරුද්ද සාමාන්‍යයි කියලා කියන්න පුළුවන්. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ අරමුණ යහපත් විදිහට ජීවිතය ගත කරන්න. ටිකක් ආදායම තියෙනවා. ඒ වගේම වියදම් තියෙනවා. ඒත් අප මේ සියලු දේට සතුටින් මුහුණ දෙනවා.”

එදා අපි ගොඩක් සරුවට අවුරුදු කෑවා

රමණී මහත්මිය අප සමඟ සඳහන් කළේ මෙවැනි අදහසකි.

ඇත්තෙන්ම එදා අපි ගොඩක් සරුවට අවුරුදු කෑවා, ඉන්පසු කොරෝනා, ආර්ථික අර්බුද නිසා අපි ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒත් මේ අවුරුද්ද ඒවාට වඩා සාර්ථකයි. සරුයි.මම හිතනවා අපට හොඳ අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කියලා.”

උදිත ගුණවර්ධන

ඡායාරූප

වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT