Home » ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම ඇමති විජයදාස කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම ඇමති විජයදාස කියයි

by chanaka
April 17, 2024 4:46 pm 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලු දෙනාගේ වගකීමක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය අද (17) පෙරවරුවේ කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවත්විණි.

එහි ප්‍රධාන අනුස්මරණ දේශනය අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලැබීය.

එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

වසර 108 කට පෙර අද වගේ දවසක ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය උපත ලැබුවා. එතුමියගේ ජීවිත කතාවෙන් අපිට වැදගත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ රටේ පැවති ධනේශ්වර පංතිය බණ්ඩාරණායක මැතිතුමාගේ දේශපාලනයට කැමති වුණේ නැහැ. එතුමා වමේත් නොවන දක්ෂිණාංෂික නොවන මැද මාවතක් තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහි කළා. එතුමා සග වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේග තුළින් 1956 මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. එතුමාගේ පාලනයට බිද දමන්න මේ රටේ වැඩ වර්ජන උද්ඝෝෂණ සිදු කරමින් ඇතැම් දේශපාලන සංවිධාන කටයුතු කළා. 1959 වසරේදී එතුමාව ඝාතනය කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි කියලා බොහෝ අය කිවුවා. 1960 ජුලි මාසයේ පැවති මහ මැතිවරණයත් සමග ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය දේශපාලනයට ආවා. එතුමියට දේශපාලනය තේරෙන්නේ නැහැ කියලා සමහරු කිවුවා. එහෙත් මේ රටේ බිහිවුනු අයෝමය රාජ්‍ය නායකයා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියයි. එතුමිය තමන්ගේ ස්වාමි පුරුෂයා සහිපත් කිරීම සදහා චීන රජයේ සහයෝගයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කළා. 1975 නොබැදි ජාතීන්ගේ සමුළුව පැවැත්වීමට එතුමිය ධෛර්යවන්ත වුණා. එතුමිය ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණා. එය රටේ වාසනාවක් බව සදහන් කළ යුතුයි. අද මෙම ස්ථානයේ සිටින සියලු දේශපාලඥයින් බිහි වුණේ බණ්ඩාරණායක මැතිණිය සහ මැතිතුමා නිසා බව කිව යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ හතු පිපෙනවා වගේ එනවා යනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැහැ.

ජේ.ආර්.ජයවර්ධන පාලන සමය තුළ බණ්ඩරණායක මැතිණියට දේශපාලන වශයෙන් විශාල පීඩාවන් ඇති වුණා. එතුමියගේ ප්‍රජා අයිතිය නැති වුණා.මේ රටේ පිරිමින්ට ගත නොහැකි වු තීන්දු තීරණ ගත් නායිකාව සිරිමාවෝ බණ්ඩරණායක මැතිණියයි. මේ රටේ වැඩිම ප්‍රහාර එල්ල වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්ට හැරෙන්න 1994 න් පස්සේ මේ රටේ ජනතා ඡන්දයෙන් ජනාධිපති වෙන්න බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන අය වශයෙන් අපේ වගකීම පක්ෂය ආරක්ෂා කිරීමයි. පක්ෂයේ නායකයින් අතර විවිධ මති මතාන්තර තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන දේවල් වෙන්නේ නැහැ. රට පුරා සමීක්ෂණයක් කලොත් සීයයට 75 ක් ජනතා මතය වන්නේ මේ රට ආරක්ෂා කරන්න. පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ද අමාත්‍යතුමා සදහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සභාපතිනී කීර්තිලතා ලොකුලියනගේ, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදය සංවිධානයේ චන්ද්‍රිකා ද සොයිසා මහාචාර්ය විශාඛා සුරිය බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT